ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය අනුග්‍රහයෙන් සාම්ප්‍රදායික ජපන් සංගීතයෙන් හැඩවුණු සැඳෑවක්
2024/11/27

2024 නොවැම්බර් මස 26 වැනි දින සන්ධ්‍යාවේදී, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් එම පරිශ්‍රය තුළ පිහිටි බෝල්රූම් ශාලාවේදී සදා මතකයේ රැදෙන අන්දමේ සංගීත ප්‍රසංගයක් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන්නට යෙදුණි. කීර්තිමත් ජපන් සංගීතඥයින් දෙදෙනෙකු වන ෂෝගෝ හියෝෂි සහ කෝගා මිචියෝ යන මහත්වරුන්ගේ කන්කළු සම්ප්‍රදායික ජපන් සංගීතයෙන් මෙම ප්‍රසංගය වර්ණවත් විය.

හියෝෂි මහතා කොතෝ සහ සංගෙන් යන සාම්ප්‍රදායික ජපන් සංගීත භාණ්ඩ වාදනයෙන් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත් අතර, කෝගා මහතා විසින් ෂකුහචි නම් සාම්ප්‍රදායික ජපන් බටනලාවේ ආත්මීය තනුවලින් සියල්ලන් වසඟ කළේය. මෙම සාම්ප්‍රදායික සංගීත භාණ්ඩවල සුසංයෝගය ජපානයේ පොහොසත් සංගීත උරුමයේ දුර්ලභ හා නිර්ව්‍යාජ අත්දැකීමක් ලබා දුන්නේය.

මෙම උත්සවය ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කළා පමණක් නොව, දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ද හේතු විය.
මෙම උත්සවය අතිවිශිෂ්ට ලෙස සාර්ථක කර ගැනීම වෙනුවෙන් සහභාගී වූ සියලුම දෙනාට තානාපති කාර්යාලය සිය අවංක කෘතඥතාව පළ කරයි.
සංගීත ශිල්පීන් පිළිබඳ තොරතුරු

ඉකුතා-රියු නම් කොතෝ සංගීත ගුරුකුලයේ මාස්ටර්වරයෙකු වන ෂෝගෝ හියෝෂි මහතා, සංගෙන් සංගීතයේද ප්‍රවීණයෙකි. වර්තමානයේදී එතුමා කොතෝ සහ සංගෙන් යන සංගීත භාණ්ඩ ද්විත්වයම වාදනය කරයි. ඊට අමතරව, හෙතෙම තත් තුනකින් යුත් ජපන් සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයක් වන කොකියු සහ සංගෙන් හි මුල් කාලීන ස්වරූපයක් යැයි විශ්වාස කෙරෙන හයිකේ-බිවා නැමැති සාම්ප්‍රදායික භාණ්ඩයද වාදනය කරයි.
එතුමා වර්ෂ 2023 සිට ටෝකියෝ කලා විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු 2009 දී සිය මංගල ජාත්‍යන්තර ප්‍රසංගය අයිස්ලන්තයේදී පවත්වන්නට යෙදුණු අතර, පසුව ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, පෝලන්තය යනාදී රටවල් වලද ප්‍රසංගයන්ට සහභාගී විය.

කෝගා මිචියෝ මහතා Lanka Nippon BizTech Institute (LNBTI) හි මව් සමාගම වන Metatechno Inc. හි හිටපු සභාපතිවරයා වේ.
කෝගා මිචියෝ මහතා වසර 50 කට පමණ පෙර ජපානයේ වසෙදා විශ්ව විද්‍යාලයෙහි පිහිටි ෂකුහචි සමාජයක් වන කොචිකු-කයි හිදී එම සංගීත භාණ්ඩය වාදනය ඉගෙනීමට පටන්ගත්තේය. වසර දහයකට පෙර කින්කො-රියු නම් ෂකුහචි ගුරුකුලයේ මාස්ටර් තත්ත්වය ලබාගැනීමත් සමගම හෙතෙම සිය වේදිකා නාමය වන චිකුසුකේ යන්න අත්කරගන්නට යෙදුණි.