ජපානය ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිළ වශයෙන් අවසන් කරයි

2025/3/7

මාර්තු මස 7 වන දින, ශ්‍රී ලංකා වේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමතා මහතා සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා ද්විපාර්ශ්වික ණය ප්‍රතිසංවිධානය පිළිබඳ සටහන් පත්‍ර අත්සන් කර හුවමාරු කර ගත්හ. මෙයින් පසුව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ [Japan International Cooperation Agency (JICA)] ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත තෙත්සුයා යමදා මහතා සහ ලේකම් සිරිවර්ධන මහතා අතර සංශෝධන ගිවිසුම අත්සන් කරන ලදී.
 
පසුගිය වසරේ ජූලි මාසයේදී, නිළ ණයහිමි කමිටුවේ [Official Creditor Committee (OCC) සාමාජිකයින් සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MOU)] අත්සන් කරන ලද අතර, ඉන් පසුව ජපාන රජය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්ත පුළුල් කිරීමේ ව්‍යාපෘතිය වැනි දැනට ක්‍රියාත්මක යෙන් ණය ව්‍යාපෘති සඳහා මුදල් ලබා දීම නැවත ආරම්භ කළේය.
 
අවබෝධතා ගිවිසුම මත පදනම්ව, අද අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුම මගින් ජපාන ODA ව්‍යාපෘති සඳහා හිඟ ණය ආපසු ගෙවීමේ නියමයන් සංශෝධනය කෙරේ. ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිළ වශයෙන් අවසන් වේ. ණය නැවත කාලසටහන්ගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් අවසන් කළ OCC සාමාජිකයින් අතරින් පළමුවැන්න ජපානයයි.


මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ කාලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රගතියේ වැදගත් සන්ධිස්ථානයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට දැඩි ලෙස සහාය වීමට ගත් තීරණාත්මක අවස්ථාවක් බව තානාපති ඉසොමතා මහතා සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාව අනෙකුත් ණය හිමියන් සමඟ සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හැකි ඉක්මනින් සම්පූර්ණ කර තවදුරටත් සංවර්ධනය කරා යන මාවතේ ස්ථාවරව ඉදිරියට යනු ඇතැයි ජපානය බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
 
ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය වන ජාත්‍යන්තර ප්‍රජාවගේ  ශ්‍රී ලංකාව පිළිබඳ වන විශ්වසනීයත්වය යථා තත්ත්වයට පත් කිරීමේ ඇති වැදගත්කම තානාපති ඉසොමතා මහතා අවධාරණය කළේය. මේ සඳහා ශ්‍රී ලංකාව ගන්නා විවිධ මුලපිරීම්වලට සහාය දැක්වීමට ජපානයේ ඇති දැඩි කැපවීම ඔහු තවදුරටත් තහවුරු කළේය.
 
ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දීම සඳහා කැපවූ සියලුම ව්‍යාපෘති හැකිතාක් සුමටව ක්‍රියාත්මක කිරීම සඳහා අඛණ්ඩව සහාය දැක්වීමට JICA හි කැපවීම JICA ප්‍රධාන නියෝජිත යමදා මහතා නැවත අවධාරණය කළේය. දූෂණ විරෝධී, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වැනි වැදගත් ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු සදහා තාක්ෂණික සහාය ලබාදීමට JICA ආයතනය අඛණ්ඩව ප්‍රමුඛත්වය දෙන බව යමදා මහතා පැවසීය.
 
ඉන්දියන් සාගරයේ උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාවේ සංවර්ධනය, සමස්ත ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය වේ. තවද, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට තවදුරටත් දායක වීමට ජපානය අදහස් කරයි.