ශ්‍රී ලංකාවේ අපනයන කටයුතු ප්‍රවර්ධනය සඳහා සහාය වීමට ජපානය යෙන් මිලියන 300 ක් වටිනා ආධාර ප්‍රදානයක් හරහා ගිනි නිවන රථ ලබා දෙයි

2025/3/20

මෙරට අපනයන සැකසුම් කලාප [Export Processing Zones (EPZs)] තුළ ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා, ආරක්ෂිත ව්‍යාපාරික පරිසරයක් සහතික කිරීම සහ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට දායක වීම සඳහා, ජපන් රජය, යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් හරහා, ශ්‍රී ලංකා රජයට අති නවීන ජපන් ගිනි නිවන රථ ලබා දීමට තීරණය කර ඇත.


මාර්තු මස 20 වන දින, ජපන් තානාපති ගරු අකිඕ ඉසොමතා මහතා සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා කොළඹදී මෙම ආධාර ප්‍රදානයට අදාල සටහන් පත්‍ර වලට අත්සන් තබන ලදී.


ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සහ කාර්මික වර්ධනය මෙහෙයවමින්, අපනයන සැකසුම් කලාප ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගිනි උවදුරු සහ අනෙකුත් හදිසි අවස්ථා වල වැඩිවන අවදානම් තත්වයන්, එහි තීරණාත්මක කාර්යයන්ට බාධා කිරීමේ අවදානමක් ඇත. අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත ජපන් ගිනි නිවන රථ, ව්‍යාපාර, සේවකයින් සහ ප්‍රජාවන් ආරක්ෂා කරමින් අපනයන සැකසුම් කලාප වල ධාරිතාවය ශක්තිමත් කරනු ඇත.
 
ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම ද මෙම ව්‍යාපෘතිය මගින් අවධාරණය කෙරේ.