වැඩිදියුණු කරන ලද අභිජනනාගාර සහ සජීවී මත්ස්‍ය පැටවුන් ප්‍රවාහන බවුසර් සමග ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජපානයේ සහ FAO සහාය

2025/3/26
   

2025 මාර්තු 26, ඉඟිනියාගල, අම්පාර – එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය [The Food and Agriculture Organization of the United Nations (FAO)], ජපාන රජයේ අරමුදල් ආධාරයෙන් සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය [National Aquaculture Development Authority of Sri Lanka (NAQDA)] සමඟ සහයෝගයෙන්, අම්පාර ඉඟිනියාගල පිහිටි NAQDA ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ වැඩිදියුණු කරන ලද අභිජනනාගාරය විවෘත කළ අතර සජීවී මත්ස්‍ය පැටවුන් ප්‍රවාහනය සඳහා බවුසර් තුනක් නිල වශයෙන් භාර දෙන ලදී.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජපාන තානාපති ගරු අකිඕ ඉසොමතා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය මගින් අභ්‍යන්තර ධීවර කර්මාන්තයේ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා රජයන් දෙකෙහිම කැපවීම අවධාරණය කරන ලදි.

   

අලුතින් වැඩිදියුණු කරන ලද අභිජනනාගාරය සහ සජීවී මත්ස්‍ය පැටවුන් ප්‍රවාහන බවුසර් සැපයීම මගින් අභ්‍යන්තර ජල මූලාශ්‍ර සඳහා ගුණාත්මක මත්ස්‍ය පැටවුන් අභිජනනය, ඇති දැඩි කිරීම සහ බෙදා හැරීම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ලැබේ. එසේම, මිරිදිය ධීවර නිෂ්පාදනය ඉහළ නංවන අතර දේශීය ධීවර ප්‍රජාවන් සඳහා ස්ථාවර පෝෂණ මාර්ගයක් සහ ආදායම් මාර්ගයක් සහතික කෙරේ. මෙම මුලපිරීම විසින් ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කටයුතු ශක්තිමත් කිරීම සහ තිරසාර ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා FAO විසින් NAQDA සමඟ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන ජපානය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3ක අරමුදල් සපයන ව්‍යාපෘතියේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. ඉඟිනියාගල මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමට අමතරව, මෙම ව්‍යාපෘතිය මගින් තවත් NAQDA ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන තුනක් සහ දැනට ක්‍රියාත්මක ප්‍රජාව විසින් ක්‍රියාත්මක කරන කුඩා මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ද ශක්තිමත් කරයි. ඒ අතරම මඩකලපුව, අනුරාධපුර සහ මොනරාගල යන ප්‍රදේශවල නව ප්‍රජාව විසින් ක්‍රියාත්මක කරන කුඩා අභිජනන මධ්‍යස්ථාන තුනක් ද ස්ථාපිත කරනු ලැබේ.

ජපාන තානාපති ඉසොමතා මැතිතුමා, උත්සවයේදී කතා කරමින්  ජනතාව වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා ජපානයේ කැපවීම තහවුරු කරමින්, "ජපානය මානව හැකියාව ප්‍රවර්ධනය සදහා ප්‍රමුඛතාව ලබා දෙන බව සදහන් කරන ලදී. මෙහිදී ක්ෂණික අවශ්‍යතාව සදහා මසුන් ලබාදීම වෙනුවට මත්ස්‍ය වගාව හා  තිරසාර කළමනාකරණය සදහා අවශ්‍ය දැනුම සහ කුසලතා වර්ධනය සඳහා අප අවධානය යොමු කර ඇති බව සදහන් කරන ලදී. මෙම ප්‍රවේශය තුළින්, ස්වයං තිරසාර වර්ධනය සහ ස්ථීර හා තිරසාර අනාගතයක් ගොඩ නැංවීම සදහා ශ්‍රී ලංකාව බල ගැන්වීමට අපි බලාපොරොත්තු වෙමු.”

   

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ දියුණුව සඳහා උපායමාර්ගික හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් මෙසේ පෙන්වා දෙන ලදි: “මෙම ව්‍යාපෘතිය සහයෝගීතාවයේ බලයට සාක්ෂියක් වෙනවා. අභිජනනාගාර මෙහෙයුම් ශක්තිමත් කිරීමෙන් සහ සජීවී මත්ස්‍ය පැටවුන් ප්‍රවාහනය වැඩිදියුණු කිරීමෙන්, රට පුරා සිටින ධීවර පවුල් දහස් ගණනකට ප්‍රතිලාභ සැලසෙන වඩාත් ඵලදායී හා තිරසාර මිරිදිය ධීවර කර්මාන්තයක් සහතික කළ හැකියි.”

“මෙම මුලපිරීම මඟින් මිරිදිය ධීවරයින්, අභිජනනාගාර ක්‍රියාකරුවන් සහ මත්ස්‍ය ආහාර නිෂ්පාදකයින් 3,000කට පමණ සෘජුවම ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අතරම ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට ද පුළුල් ලෙස දායක වෙනවා. මීට අමතරව, වැඩිදියුණු කළ පැටවුන් සංවර්ධන ක්‍රම හඳුන්වාදීම, අභ්‍යන්තර ධීවර කර්මාන්තය ඩිජිටල් ක්‍රමයට ඒකාබද්ධ කිරීම සහ ධීවරයින්ගේ සහ ජලජීවී වගා නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය කිරීම සඳහා වූ වැඩසටහන් මෙම පුළුල් ව්‍යාපෘතියේ අනෙකුත් ප්‍රධාන අංග වෙනවා.”

ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා FAO කැපවීම අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ FAO නියෝජිත විමලේන්ද්‍ර ෂරන් මහතා මෙසේ පැවසීය: “මෙම මුලපිරීම හරහා, අපි ජලජීවී වගා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පමණක් නොව, දිගු කාලීනව මිරිදිය ධීවර කර්මාන්තය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සම්පත් සහ දැනුමෙන් ද ප්‍රජාවන් බලසතු කරනවා. බලපෑම් සහගත, කල් පවතින වෙනසක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට FAO කැපවෙනවා.”