කළුතර දකුණ පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ ආදර්ශ කාන්තා හා ළමා කාර්යාංශය (EWA) විවෘතකිරීම

2025/3/27

කොළඹ. ශ්‍රී ලංකාව - 2025 මාර්තු 27 දින, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ශක්තිමත් කිරීමේ තවත් තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින්, ජපාන තානාපති අකිඕ ඉසොමතා සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත කුලේ අඩෙනියි යන මහත්වරුන් විසින් කළුතර දකුණු පොලිස් ස්ථානය තුළ ජපානයේ අරමුදල් සහිතව ඉදිකරන ලද ආදර්ශ කාන්තා හා ළමා කාර්යාංශය (EWA) ශ්‍රී ලංකා පොලිසියට භාර දෙන ලදී. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් සහාය ලබා ගැනීමේදී වින්දිතයන්ට ලැබිය යුතු ආරක්ෂාව, ගෞරවය සහ සහයෝගය නිසි ලෙස ලැබෙන බව මෙම මූලාරම්භය විසින් සහතික කරයි.
 
මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු සුනිල් වටගල, ජපාන තානාපති අතිගරු අකියෝ ඉසමාටා, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත කුන්ලේ අඩෙනියි. මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී. ඩබ්. ආර්. බී. සෙනෙවිරත්න, මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර, කලුතර දිශාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ සහ කලුතර දිශාවේ පොලිස් නිලධාරීහු විවෘත කිරීමට සහභාගි වූහ.


කළුතර දකුණ ආදර්ශ කාන්තා හා ළමා කාර්යාංශය, පසුගිය වසරේ පමණක් කාන්තාවන් සහ ළමුන් 4000 කට අධික සංඛ්‍යාවකට සහාය ලබා දුන් යාපනය, මිරිහාන, පුදුකුඩුඉරිප්පු, නුවර එළිය, මුන්දලම්, මඩකලපුව සහ මහනුවර ඇතුළු ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන EWA ජාලයට එක් වේ. මෙම ආරක්ෂිත අවකාශයන් තාවකාලික විවේක ප්‍රදේශ ලෙස සේවය කරන අතර, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන්ට ආරක්ෂාව. මනෝ සමාජයීය සහාය. වෛද්‍ය යොමු කිරීම්, නීති ආධාර සහ යුක්තිය වෙත වින්දිත කේන්ද්‍රීය එළඹුමක් සපයයි.
 
මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස, ඉදිරි සති කිහිපය තුල ධර්මපුරම් (කිලි නොච්චි දිස්ත්‍රික්කය), මුරු කන් (මන්නාරම දිස්ත්‍රික්කය), උප්පුවේලි (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය), ඕපනායක (රත්නපුර දිස්ත්‍රික්කය), වලපනේ (නුවර එළිය දිස්ත්‍රික්කය) සහ මෝදර (කොළඹ දිස්ත්‍රික්කය) යන ප්‍රදේශ වල තවත් හදිසි අවස්ථා පොරොත්තු ප්‍රදේශ හයක් ස්ථාපිත කෙරේ. මෙම පහසුකම් මගින් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් ප්‍රචණ්ඩත්වය සම්බන්ධව කටයුතු කිරීමේ ශ්‍රී ලංකාවේ කැපවීම මෙන්ම වින්දිතයන්ට අත්‍යවශ්‍ය සේවාවන් ගිලිහී නොයාම තහවුරු කරයි.
 
කළුතර දකුණ EWA පිහිටුවීම ජපන් ජනතාවගේ ඇමරිකානු ඩොලර් 34,000 ක ත්‍යාගශීලී අරමුදල් ආධාරයෙන් සිදු වූ අතර, ඉදිකිරීම් සඳහා වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය සහාය විය.


ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට සහාය වීම සඳහා ජපානයේ අඛණ්ඩ කැපවීම අතිගරු තානාපති ඉසොමතා මහතා නැවත තහවුරු කළ අතර, ප්‍රචණ්ඩත්වයෙන් තොර අනාගතයක් සහතික කිරීමේ දී ආරක්ෂිතඅවකාශයන්හි කාර්යභාරය අවධාරණය කළේය. කාන්තාවන්, සාමය සහ ආරක්ෂක න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීමේ දී 2018 දි ශ්‍රී ලංකාව ජපානයේ හවුල්කාර රටක් බවට පත් වූ දා සිට ජපානය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කරමින් සිටී. මෙම ව්‍යාපෘතියට වින්දිතයින් හසුරුවන පොලිස් නිලධාරින්, විශේෂයෙන් කාන්තා නිලධාරීන් සඳහා ලබා දෙන පුහුණුවක් ද ඇතුළත් වන අතර එය වින්දිතයින්ට රැකවරණය සහ උපදේශනය ලබා ගැනීමේදී ආරක්ෂිත බවක් දැනීමට හේතු වනු ඇත. අවදානම් තත්ත්වයන් යටතේ සිටින කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක හා පොලිස් අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය පුළුල් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ප්‍රචණ්ඩත්වයට එරෙහි නීතිමය පියවරයන් සහතික කිරීම සහ රැකවරණය පතා පැමිණෙන කාන්තාවන් සහ දරුවන්ගේ ස්ව ශක්තිය නැංවීම සඳහා සහය ලබා දීම ශ්‍රීලංකාව විසින් සිදු කළ යුතු ව ඇත.''


උත්සවය අමතමින්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත කුන්ලේ අඩෙනියි, ස්ත්‍රී පුරුෂ භාවය මත සිදුවන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී වින්දිත කේන්ද්‍රීය ප්‍රවේශයන්ගේ වැදගත්කම අවධාරණය කළේ ය." වින්දිතයෙකු උපකාර පැතීමේ තීරණය ගන්නා අවස්ථා වලදී බොහෝ විට බිය; විනිශ්චයට ලක් වීමේ බිය, අවිශ්වාස කිරීමේ හෝ පළිගැනීමට ලක් වීමේ බිය යනාදියෙන් පිඩා විඳිනවා. ඔවුන් පොලිස් ස්ථානයකට ඇතුළු වන විට, ඔවුන්ට ආරක්ෂාව පමණක් නොව, අනුකම්පාව සහ සැලකිල්ල ද ලැබිය යුතු යි. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග වින්දිතයෙකු ඇති කරගන්නා පළමු අන්තර් ක්‍රියාව, සුවය සහ යුක්තිය කරා යන ඔවුන්ගේ මුළු ගමනම හැඩ ගස්වනු ලබනවා. ඔවුන්ට අවබෝධය, ගෞරවය සහ සහයෝගය ලැබෙනවා නම්, ඔවුන් ඔවුන්ට අවශ්‍ය උපකාර ලබා ගැනීමට යොමු වීමේ වැඩි ඉඩක් තිබෙනවා."
 
වින්දිතයන් විපතකදී උපකාර පතන විට ඔවුන්ට ආරක්ෂිත බවක් සහ දිරිගැන්වීමක් ලැබීමට ඉඩ සලසා දීම වෙනුවෙන් ජපන් ජනතාවට, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට, ශ්‍රී ලංකා පොලිසියට සහ වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය දැක්වූ අමිල සහයෝගය සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සිය කෘතඥතාව පළ කරයි.