ශ්‍රී ලංකාව නව ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම දියත් කරයි - ජනාධිපති දිසානායක මහතා විනිවිදභාවය සහ යහපාලනය සඳහා ජාතියේ කැපවීම නැවතඅවධාරණය කරයි
2025/4/9

2025 අප්‍රේල් මස 9 වන දින, කොළඹ, ශ්‍රී ලංකාව: අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව [Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC)] විසින් 2025-2029 ජාතික දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම [National Anti-Corruption Action Plan (NACAP)] නිළ වශයෙන් දියත් කරන ලද අතර, එය, පාලනය ශක්තිමත් කිරීම, විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා රටේ කැපවීම නැවත තහවුරු කිරීමේ උපායමාර්ගික මුල පිරීමක් ලෙස ක්‍රියාත්මක විය. ජපන් රජයේ අරමුදල් සමඟින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) තාක්ෂණික විශේෂඥතාවයෙන් සහාය ලබා ගනිමින් NACAP සංවර්ධනය කිරීම සඳහා CIABOC නායකත්වය දුන් අතර, එය 'දුෂණ විරෝධී ප්‍රතිපත්ති සහාය තුළින් ආර්ථික පාලනය ප්‍රවර්ධනය කිරීම' යන ව්‍යාපෘතිය හරහා ඇමරිකානු ඩොලර් 900,000 ක් පමණ වටිනාකමකින් යුතු වේ.
මෙම එළි දැක්වීමේ අවස්ථාවට අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක; ගරු අගවිනිසුරු මුරුදු ප්‍රනාන්දු; CIABOC සභාපති විනිසුරු නීල් ඉද්දවෙල; CIABOC කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්; ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිඕ ඉසොමතා මහතා; තානාපතිවරුන්; ජාත්‍යන්තර සංවිධානවල මහ කොමසාරිස්වරුන් සහ ප්‍රධානීන්; ලේකම්වරුන්; ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සහ අනෙකුත් ඉහළ මට්ටමේ ආරාධිතයින් සහභාගී වූහ.
ශ්‍රී ලංකාව පිරිසිදු, හරිත හා තිරසාර රටක් බවට පත් වීමේ ගමන දිගටම කරගෙන යන විට, දූෂණයට එරෙහිව සටන් කිරීම ප්‍රධාන ජාතික ප්‍රමුඛතාවයක් ලෙස මතු වී තිබේ. NACAP, 2019-2023 ක්‍රියාකාරී සැලැස්මෙන් ලබාගත් සාර්ථකත්වය සහ පාඩම් මත ගොඩ නැගී ඇති අතර, රාජ්‍ය පාලනයේ සියලු මට්ටම්වල දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා පුළුල් මාර්ග සිතියමක් සැපයීම අරමුණු කර ගෙන ඇත. ජාතික හා පළාත් පාර්ශවකරුවන් සමඟ පුළුල් උපදේශන හරහා සංවර්ධනය කරන ලද මෙම සැලැස්ම, රටේ ව්‍යවස්ථාමය හා නීතිමය රාමු සමඟ පෙළ ගැසෙන අතරම ජාත්‍යන්තර හොඳම භාවිතයන් ඇතුළත් කරයි.

මෙම ක්‍රියාකාරී සැලැස්ම දියත් කිරීම සිදුවන්නේ 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාව විසින් බලාත්මක කිරීමෙන් පසුව වන අතර එය රටේ දූෂණයට එරෙහි සටනේ වැදගත් සන්ධිස්ථානයකි. නව සැලැස්ම සමස්ත රජයේ සහ සමස්ත සමාජයේ ප්‍රවේශයක් පෝෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, දූෂණයෙන් ආර්ථික ස්ථාවරත්වය සහ මහජන විශ්වාසය කෙරෙහි ඇති වන දුරදිග යන බලපෑම් විසඳීම සඳහා ඇතුළත් සහ උපායමාර්ගික ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය අවධාරණය කරයි.
ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර අතරට; අල්ලස් හා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ජාතික නීති සහ ප්‍රතිපත්ති රාමු ශක්තිමත් කිරීම; දූෂණ විරෝධී ප්‍රධාන ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා අන්තර් ආයතනික සහයෝගීතාව වැඩි දියුණු කිරීම; මූල්‍ය අපරාධ විමර්ශන සහ නඩු පැවරීම් වල ගුණාත්මක භාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම; සියලු අංශ හරහා වැළැක්වීමේ පියවර, ආයතනික ශක්තිමත් කිරීම, අධ්‍යාපනය සහ නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම; සහ අඛණ්ඩතාව සහ වග වීම ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන සහභාගීත්වය දිරිමත් කිරීම ඇතුළත් වේ.
CIABOC හි නායකත්වය පිළිබඳව අදහස් දක්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. ඒ. දිසානායක මහතා මෙසේ පැවසීය. " දූෂණය මැඩපැවැත්වීම සඳහා දඬුවම් ක්‍රියාමාර්ග පමණක් නොව තවත් බොහෝ දේ අවශ්‍ය වේ. එය මුල් ළමා වියේ සිටම අඛණ්ඩතාව ඇති කිරීම ආරම්භ කරමින් වටිනාකම්වල පුළුල් වෙනසක් ඉල්ලා සිටින ගැඹුරින් මුල් බැසගත් සංස්කෘතික ගැටලුවකි. වගවීම ශක්තිමත් වැළැක්වීමේ I යාන්ත්‍රණ සහ චෝදනා ඉදිරිපත් කරන සාක්ෂිකරුවන්ට සහාය වීම සමඟ සම්බන්ධ කළ යුතුය. පද්ධතිමය ප්‍රතිසංස්කරණ සඳහා අපගේ කැපවීමේ කොටසක් ලෙස, විනිවිදභාවය සහ ක්‍රියාකාරී අධීක්ෂණය සහතික කිරීම සඳහා අපි රජයේ ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකකයක් [Internal Affairs Unit (IAU)] ස්ථාපිත කරන්නෙමු."

ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය දැක්වීමට ජපන් රජයේ ඇති කැපවීම ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඕ ඉසොමතා මහතා මෙසේ පැවසීය. '' විනිවිදභාවය සහ යහපාලනය තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා මූලික කුළුණු වේ. ශ්‍රී ලංකාව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ දිගුකාලීන වර්ධනයක් අත්කර ගැනීමට නම්, දූෂණය තුරන් කිරීම අත්‍යවශ්‍ය වේ. ජාතික ක්‍රියාකාරී සැලැස්ම [National Action Plan (NAP)] ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ අඛණ්ඩව පසු විපරම් කිරීම සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ. දේශපාලනඥයින් සහ රජයේ නිලධාරීන් ඇතුළු අදාළ සියලු බලධාරීන් මෙම සැලැස්ම සංයුක්ත ක්‍රියාමාර්ගයක් බවට පත් කිරීමට සහ පාලනයේ සියලු මට්ටම්වල වගවීම සහතික කිරීමට කටයුතු කරනු දැකීමට මම කැමතියි.''
ක්‍රියාකාරී සැලැස්ම පුළුල් උපායමාර්ගික කුළුණු හතරක් වටා ව්‍යුහගත කර ඇත - වැළැක්වීමේ පියවර, ආයතනික ශක්තිමත් කිරීම සහ බලාත්මක කිරීම, අධ්‍යාපනය සහ නීතිය සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ - ඵලදායී ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගයක් සඳහා අත්‍යවශ්‍ය ප්‍රමුඛතා ක්ෂේත්‍ර නවයක් ආවරණය කරයි. එය තිරසාර ප්‍රගතියක් සහතික කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන අරමුණු සහිත සවිස්තරාත්මක ක්‍රියාත්මක කිරීමේ කාල රාමුවක් සපයයි.
UNDP හි කාර්යභාරය ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ UNDP හි නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය මෙසේ පැවසුවාය, '' ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ශ්‍රී ලංකා සමාජය පුරා පරිවර්තනය සඳහා මාර්ග සිතියමකි. එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ විට, එය ව්‍යුහගත, ඇතුළත් සහ ප්‍රතිඵල මත පදනම් වූ යාන්ත්‍රණයන් හරහා දූෂණය දෘශ්‍යමාන කරනු ඇත. 2019-2023 පළමු NAP සහ 2023 දූෂණ විරෝධී පනතේ සිට ශ්‍රී ලංකාවේ දුෂණ විරෝධී ප්‍රයත්නයන්හි UNDP ස්ථිර තාක්ෂණික හවුල්කරුවෙකු වී ඇත. සමස්ත ආර්ථික පාලනය ශක්තිමත් කිරීමේ අරමුණින්, CIABOC, අධිකරණය, ආදායම් එකතු කිරීමේ ආයතන, ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් ඇතුළු පුළුල් පරාසයක කොටස්කරුවන් සමඟ වැඩ කිරීමට අපි කැපවී සිටිමු.''
මෙම ක්‍රියාකාරී සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා රජය, සිවිල් සමාජය, පෞද්ගලික අංශය සහ මහජනතාවගේ සාමුහික උත්සාහයක් අවශ්‍ය වේ. දුෂණ විරෝධී පියවරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් සිය තත්ත්වය වැඩි දියුණු කිරීමට උත්සාහ කරන අතරතුර, මෙම මුලපිරීම මහජන විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීම සහ අනාගත පරම්පරාවන් සඳහා සාධාරණ හා යුක්ති සහගත පාලන පද්ධතියක් සහතික කිරීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි.