2025 ජපන් බොන් ඔදොරි උත්සවය ශ්‍රී ලංකාවේ දී සාර්ථකව පැවැත්වේ

2025/7/16
ජාතික තරුණ සේවා සභාව [National Youth Services Council (NYSC) ] සහ ජපන් සහයෝගිතා සංගමය [Japanese Solidarity Association (JSA)] සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලද ගිම්හානයේ සංකේතයක් වන සාම්ප්‍රදායික ජපන් බොන් ඔදොරි උත්සවය 2025 ජූලි මස 12 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා  පරිශයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.

  

මෙම උත්සවය විවිධාකාර රංගනයන්ගෙන් සමන්විත වූ අතර විශාල නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කර ගත්තේය. කොළඹ ජපන් පාසලේ සහ ලංකා නිප්පොන් බිස්ටෙක් ආයතනයේ [Lanka Nippon BizTech Institute (LNBTI)] සිසුන් විසින් උත්සවයට සහභාගී වූ අමුත්තන් ද  සහභාගීකරවා ගනිමින් “තෝකියො ඔන්දො” (තෝකියො නර්තන ගීතය) සහ “තන්කො බුෂි” (පතල් කැණීම්කරුවන්ගේ ගීතය) යන ජනප්‍රිය ගීත සමඟ බොන් ඔදොරි නර්තනයන් ඉදිරිපත් කරන ලදී.

  

බොන් ඔදොරි නර්තනයට අමතරව, නාද රටා සහ වර්ණ සංකලනයන්  සමඟින්, අමුත්තන්ගේ ආකර්ෂණය දිනා ගත් පහත සඳහන් රංගනයන් ද ඉදිරිපත්කරන ලදී:
  • කොළඹ ජපන් පාසලේ සහ ජාතික තරුණ සේවා සභාවේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද සාම්ප්‍රදායික ජපන්ර (වදඉකො) වාදනය
  • කොළඹ ජපන් පාසලේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද   “නන්චු සොරන්” නම් නර්තනය
  • ජපන් පොප් සංගීතයට අනුව LNBTI සිසුන් විසින් ඉදිරිපත් කළ නර්තනාංගය
  • ජාතික තරුණ සේවා සභාවේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද කරාතේ සංදර්ශණය
  • ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සි ස්වේච්ඡා සේවකයින් [Japan International Cooperation Agency Volunteers (JOCV)] විසින් ඉදිරිපත් කරන ලද ජපන් සහ සිංහල ගීත ගායනයන්
  • ජාතික තරුණ සේවා සභාවේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලාංකික සංගීත සහ නැටුම් සංදර්ශණය
  

  

උත්සවයේ සංස්කෘතික විචිත්‍රත්වය තවදුරටත් වැඩි කරමින් සුප්‍රසිද්ධ ජපන් ගායිකා චිකකො සවදා මහත්මිය විසින් ඇගේ ප්‍රසිද්ධ ගීතය වන I miss you (会いたい)”, සිංහල ගීතයක් වන “මැණිකේ මගේ හිතේ” සහ තවත් ගීත කිහිපයක් සමඟින් විශේෂ රංගනයක් ඉදිරිපත් කළාය. ඇය විසින් 2005 වර්ෂයේදී සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන්ට ආධාර පිණිසත්, ශ්‍රී ලංකාව  සමඟ සබඳතාවය තරකර ගැනීම පිණිසත් ප්‍රසංගයක් පැවැත්වීය. මෙවර ඇය විසින් සනිටුහන් කරනු ලැබුවේ ඇගේ 6 වන ශ්‍රී ලංකා සංචාරයයි.

  

යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග ගුණසේකර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිඕ ඉසොමතා , ජාතික තරුණසේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න, කොළඹ නගරාධිපතිනි ගරු ව්‍රායි කැලී බැල්තසාර්, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන් සහ ජපන් සහයෝගිතා සංගමයේ සභාපති මිකිනගා ‌ හොත්තා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
ආහාර ලෝලීන් හට යමතෝ, ගින්සා-හොසෙන්, කුරකු, මිනෝරි, ෂිකිසෙන්, නිහොන්බාෂි, සුෂි බාර් සමුරායි වැනි සුප්‍රසිද්ධ ආපනශාලාවලින් සපයනු ලැබූ නියම ජපන් ආහාරපාන රසවින්දනය කිරීමට මෙහිදී අවස්ථාව ලැබිණි. එමෙන්ම ජාතික තරුණසේවා සභාවේ සූපවේදී පාඨමාලා අංශය විසින්ද ආකර්ෂණීය ජපන් සහ ශ්‍රී ලාංකික ආහාරපාන රැසක් සපයන ලදී.

  

  

මෙම අවස්ථාවට  ලංකාවේ ඔරිගමි සංගමය, ශ්‍රී ලංකා බොන්සායි සංගමය, LNBTI, JICA ආයතනය, JETRO-CLAIR [Council of Local Authorities for International Relations (CLAIR)] ආයතන, JICA ස්වේච්ඡා සේවකයන් සහ ජපන් සහයෝගිතා සංගමය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රවර්ධන හා අලෙවි කුටි රැසක් එක්ව තිබුණි.

  

ශ්‍රී ලංකාවේ වාර්ෂික බොන් ඔදොරි උත්සවය ජපන් සහ ශ්‍රී ලාංකික ජනතාව සම්බන්ධ කරන ගිම්හාන සංස්කෘතික උත්සවයක් වන අතර, දෙරට අතර ගැඹුරු මිත්‍රත්වයේ සහ සංස්කෘතික හුවමාරුවේ සංකේතයකි.