උතුරු පළාතේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජපානය සිය සහයෝගය ලබා දෙයි
2025/7/31


2025 ජූලි මස 31 වන දින, ජපාන තානාපති ගරු අකිඔ ඉසොමත මහතා, “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන [Grant Assistance for Grassroots Human Security Projects (GGP)]” යෝජනා ක්‍රමය යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ ආධාර ප්‍රදාන කොන්ත්‍රාත්තුව, ඩෙල්වොන් සමාජ සමගිය සඳහා වන සහාය [Delvon Assistance for Social Harmony (DASH)] හි අධ්‍යක්ෂ සහ වැඩසටහන් කළමනාකරු ආනන්ද චන්ද්‍රසිරි මහතා සමඟ අත්සන් කළේය.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා සහයෝගය ලබා දීම සඳහා DASH සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සඳහා ජපන් රජය ඇමරිකානු ඩොලර් 450,000 ක් (දළ වශයෙන් රු. 131,400,000 ක්) ලබා දී ඇත. 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු ලෙස කටයුතු කරන අතර, මේ වන විට ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 48 ක් වෙයි.


මෙම ප්‍රදානයේ වැදගත්කම නැවත අවධාරණය කරමින් තානාපති ඉසොමත මහතා මෙසේ පැවසීය: “GGP යෝජනා ක්‍රමය ජපන් රජය තම රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැදගත් අංශයක් ලෙස පිළිගන්නා ‘මානව ආරක්ෂාව’ යන සංකල්පය මත පදනම් වේ. එය විශේෂයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට, බියෙන් තොරව ගෞරවාන්විතව ජීවත් වීමට මෙන්ම ආරක්ෂාව සහ සමාජ බලගැන්වීම තුළින් ජාතිය සහ ප්‍රජාව ගොඩනැගීම මගින් ඉදිරියට යාම අරමුණු කරගත් සංකල්පයකි. DASH හි මෙම ව්‍යාපෘතිය උතුරු පළාතේ ප්‍රතිලාභීන් 5,000 ක් නැවත පදිංචි කිරීම සහ ඔවුන්ගේ ජීවනෝපාය සවිබල ගැන්වීම සඳහා සහාය වීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත. මෙම ව්‍යාපෘතියට ලැබෙන ආධාර, උතුරු සහ නැගෙනහිර පළාත්වල සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා ශ්‍රී ලංකා රජයේ උත්සාහයන් සමඟ බෙහෙවින් සමපාත වේ. ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශ සංවර්ධනය කිරීම සහ ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට සහාය වීම, ‘බිම් බෝම්බ වලින් නිදහස් ශ්‍රී ලංකාව’ සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය වීම ඇතුළු කාරනා ජපානය මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන නිල සංවර්ධන ආධාරවල ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස දිගටම පවතිනු ඇත.”
මෙම ආධාර ප්‍රදානය ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් DASH හි අධ්‍යක්ෂ සහ වැඩසටහන් කළමනාකරු ආනන්ද චන්ද්‍රසිරි මහතා මෙසේ පැවසීය;
“සමාජ සමගිය සඳහා වූ ඩෙල්වොන් ආධාර (DASH) 2010 දී ජපානයේ අරමුදල් ආධාරයෙන් ශ්‍රී ලංකාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළේ ස්වාධීන, දේශීය සංවිධානයක් ලෙසයි. අද අත්සන් කරන ලද අධාර ප්‍රදාන කොන්ත්‍රාත්තුව මගින් එම සහයෝගය තවත් මාස 9 කට දීර්ඝ කර ඇත; ඒනම් 2025 අගෝස්තු මස 1 දින සිට 2026 අප්‍රේල් මස 30 වනදා දක්වාය. මෙම ප්‍රදානය එම අඛණ්ඩ සහයෝගයේ 16 වන වසර සනිටුහන් කරයි. මේ දක්වා ලබා දී ඇති මුළු අරමුදල් ප්‍රමාණය රුපියල් මිලියන 1,561 ඉක්මවන අතර එමඟින් DASH හට බිම්බෝම්බ දූෂිත ප්‍රදේශයන්හී කිලෝමීටර 7.9 ක් ඉවත් කර මුදා හැරීමට සහ එම ක්‍රියාවලියේදී පුද්ගල නාශක බිම්බෝම්බ 56,475 ක්, ටැංකි නාශක බිම්බෝම්බ 114 ක්, යුද්ධයේ පුපුරණ ද්‍රව්‍ය 14,141 ක් සහ කුඩා අවි පතොරම් 77,224 ක් විනාශ කිරීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලයින් 27,005 ක් සෘජුවම සහ පුද්ගලයින් 99,830 ක් වක්‍රව ප්‍රතිලාභ ලබා ඇත. මෙම නව ව්‍යාපෘතිය මගින් වර්ග මීටර් 100,000 කට වඩා බිම්බෝම්බ ඉවත් කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් 5,000 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබේ. ඒමෙන්ම සමස්ථ ජනතාවට, බිම් බෝම්බ සහ යුද්ධයේ පුපුරන සුලු අවශේෂ ඉවත් කිරීම මගින් ආරක්ෂිත පරිසරයක් පහසුකම් සැලසීම සහ නැවත පදිංචි කරන ලද ප්‍රජාවන්ට ජීවනෝපාය සඳහා ආරක්ෂිත ප්‍රවේශයක් සහ මාර්ග, පාසල්, ආගමික ස්ථාන, පොදු පහසුකම් වැනි යටිතල පහසුකම් සංවර්ධනය සහතික කිරීම සිදුකරයි.”