ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා පිළිගැනීමේ උත්සවයක්: ක්‍රිකට් රාජ්‍යතාන්ත්‍රිකත්වය
2025/8/5

එළඹෙන ICC විස්සයි-විස්ස ලෝක කුසලානය සඳහා ආසියා-පැසිෆික් කලාපයෙන් සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ පෙර සූදානම්වීමක් ලෙස ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම පුහුණු සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
මෙම ඓතිහාසික සංචාරය සනිටුහන් කිරීම සඳහා එම කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකියෝ ඉසෝමතා මහතා විසින් අගෝස්තු 1 වන දින සිය නිල නිවසේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට ක්‍රිකට් හා සම්බන්ධ වැදගත් පුද්ගලයින් රැසක් සහභාගී වූ අතර, ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා, ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් මියාජි මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සහ ජපන් ක්‍රිකට් සංගමයේ සුහද තානාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා ද වූහ.


ක්‍රිකට් ක්‍රීඩාව හරහා සිදුකරනු ලබන මෙම හුවමාරුව තුළින් නිරන්තරයෙන් වර්ධනය වන ජපාන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවලට නව ස්ථරයක් එක් කරමින් නව පරිච්ඡේදයක් විවෘත කරන බව සඳහන් කළ තානාපතිවරයා ක්‍රිකට් රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ආරම්භය සැමරීය.
මෙම අවස්ථාව වර්ණවත් කරමින් එකල ක්‍රිකට් ක්‍රීඩාව බැබලවූ සුපිරි ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය (ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු), චමින්ද වාස් , ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම දැනට ක්‍රීඩාවේ නිරතවන වන භානුක රාජපක්ෂ සහ චරිත් අසලංක යන මහත්වරුන් ද සහභාගී විය.


සිය රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමේ ජපානයේ ප්‍රයත්නයට සහාය දැක්වීම සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විස්සයි විස්ස පුහුණු තරඟ හතක් වෙනුවෙන් 19 න් පහළ කණ්ඩායම් හතරක් සූදානම් කොට ලබාදී ඇත. මෙම මුලපිරීම තුළින් ක්‍රිකට් සබඳතා ශක්තිමත් කරන අතරම, තරුණ කුසලතා, අන්‍යෝන්‍ය ගෞරවය සහ දෙරට අතර ගැඹුරු අවබෝධය පෝෂණය කිරීම ද අරමුණු කෙරේ.

මෙම සහයෝගීතා සංචාරය ක්‍රීඩා හා සංස්කෘතික හුවමාරුව යන දෙඅංශයෙන්ම ජපන්-ශ්‍රී ලංකා සබඳතා ඉහළ නංවන තවත් පියවරක් වන අතර, එය නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ජාත්‍යන්තර හොඳ හිත සඳහා ශක්තිමත් වේදිකාවක් සපයයි.