ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජපාන රජයේ ආධාර ඇතිව, ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රචණ්ඩත්වයෙන් පෙළුනු කාන්තාවන් සඳහා පළමු නිවහන නුවරඑළියේදී විවෘතකරයි
2025/7/31

ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන් ගේ ආරක්ෂාව සහ සහාය සේවා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රචණ්ඩත්වයෙන් බේරීගත් කාන්තාවන් සඳහා කැප වූ පළමු නිවහන අද දින නුවරඑළියේදී නිල වශයෙන් විවෘත කරන ලදී.
ජපාන රජයේ මූල්‍ය ආධාර සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) තාක්ෂණික සහාය ඇතිව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා කාර්යාංශය යටතේ, වර්ල්ඩ් විෂන් ලංකා සහ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (WDC) විසින් ඉදිකරන ලද මෙම නිවහන, ගරු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකියෝ ඉසෝමාටා, කාන්තා හා ළමා කටයුතු අමාතත්‍යාංශයේ, කාන්තා කාර්යාංශයේ, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් විසින් විවෘත කරන ලදී. මෙම නිවහනේ නඩත්තුව සහ කළමනාකරණය කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා කාර්යාංශය විසින් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය අඛණ්ඩ ගැටලුවක් ලෙස පවතින අතර, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය ආමන්ත්‍රණය කිරීම සඳහා වන රටේ දෙවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2024-2028) යටතේ හිංසනයෙන් දිවි ගලවා ගත් අය සඳහා ආරක්ෂිත ස්ථානයන් වෙත ප්‍රවේශවීමේ හැකියාව පුළුල් කිරීම අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවයකි. නුවරඑළියේ නව නිවහන මෙසේ බේරීගත් අයට ක්ෂණික ආරක්ෂාව, තාවකාලික නවාතැන්, මනෝ සමාජීය සහාය සහ නීතිමය සහ සෞඛ්‍ය සේවා සඳහා අවස්ථාව ලබා දෙන අතර, ප්‍රචණ්ඩත්වයෙන් බේරීගත් කාන්තාවන් සඳහා, ඔවුන් කේන්ද්‍ර කරගත්, ගෞරවනීය ප්‍රතිචාරයක් සහතික කරයි.
"තම ජීවිත නැවත ගොඩනඟා ගැනීම සඳහා ආරක්ෂාව සහ සහාය සොයන කාන්තාවන්ට මෙම නිවහන බලාපොරොත්තුවේ පහනක් වන අතර, ආරක්ෂිත තෝතැන්නක් ලෙස ක්‍රියා කරයි. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ජපාන රජය සහ දේශීය හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කැපවී සිටින අතර, කිසිවෙකු අතහැර නොයන බවට සහතික වේ." යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි නියෝජිතවරිය පැවසුවාය.

කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වැඩි දියුණු කිරීම සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකියෝ ඉසෝමාටා මහතා නැවත අවධාරණය කළේය. එසේම මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන, පොලීසිය, ප්‍රාදේශීය ප්‍රජාවන් සහ ලාබ නොලබන සංවිධාන වල සම්බන්ධීකරණ ප්‍රවේශයේ වැදගත්කම ද අවධාරණය කර සිටියේය. "UNFPA හි වත්මන් ව්‍යාපෘතිය ජපන් රජය එහි රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැදගත් කුළුණක් ලෙස අනුගමනය කරන "මානව ආරක්ෂාව" සංකල්පය සමඟ බෙහෙවින් සමපාත වේ. නුවරඑළියේ මෙම නවාතැන සහ ව්‍යාපෘතිය යටතේ ඇති අනෙකුත් නවාතැන් හොඳ ආරම්භක ස්ථාන වන අතර, මෙම ව්‍යාපෘතියේ දිගුවක් ලෙස රට පුරා අවශ්‍යතා ඇති කාන්තාවන් සඳහා මධ්‍යම සහ පළාත් පාලන ආයතන විසින් සමාන නවාතැන් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ. ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීම, රැකවරණය සහ සහාය ලබා ගන්නා කාන්තාවන්ගේ ස්වයං විශ්වාසය සඳහා අවශ්‍ය සහාය ලබා දීම ද අත්‍යවශ්‍ය වේ. රජයන්ගේ උත්සාහයන් සමඟ ග්‍රාමීය ප්‍රජාවන් සහ ලාබ නොලබන සංවිධානවල ශක්තිමත් සහයෝගය සමඟින්, රටේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඵලදායී ලෙස වැළැක්වීමට සහ නිසි ලෙස ආමන්ත්‍රණය කිරීමට හැකිවෙතැයි මම බලාපොරොත්තු වෙමි". මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ජපාන තානාපතිතුමා ප්‍රකාශ කර සිටියේය.
පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් මෙම නිවහන ක්‍රියාත්මක කිරීම සඳහා නුවර එළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා කාර්යාංශය සහ මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (WDC) අතර 2025 ජුනි මාසයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය ආරම්භ විය.

විවෘත කිරීමෙන් පසු, දූත පිරිස නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ මාතෘ ඒකකය නැරඹීමට ගිය අතර, එහිදී මාතෘ සහ නව දරු උපත් සත්කාර වැඩි දියුණු කිරීම, කලාපයේ සීතල දේශගුණය තුළ බිහිවන දරුවන්ගේ ළදරු හයිපෝතර්මියාව අඩු කිරීම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ දේශගුණික සාධකයන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා තාපන සහ සුර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමට ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහාය වී ඇත.
ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් යොමු කර සම්බන්ධ කර ගැනීමේ මාර්ග ශක්තිමත් කිරීමෙන් සහ තීරණාත්මක යටිතල පහසුකම් සඳහා සහාය වීමෙන්, ශ්‍රී ලංකා රජය, ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) රට පුරා කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා ආරක්ෂිත, වඩාත් සාධාරණ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා එක්ව කටයුතු කරයි.