“හබරණ-වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය” සම්පූර්ණ කෙරේ
2025/9/4

සැප්තැම්බර් මස 03 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා, නව හබරණ ග්‍රිඩ් උපපොළේ හබරණ-වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ අතර, මෙම අවස්ථාව සදහා බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි, ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සාමාන්‍යාධිකාරී වසන්ත එදුසුරිය සහ JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුම යන මහත්වරුන් ද සහභාගී වූහ.

ජපන් රජය විසින් අරමුදල් සපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 65 ක පමණ වටිනාකමකින් යුත් මෙම යෙන්-ණය ව්‍යාපෘතියේ අරමුණ වන්නේ හබරණ සහ වේයන්ගොඩ අතර අඩු විදුලි හානියකින් යුත් සම්ප්‍රේෂණ මාර්ග සහ උපපොළවල් ඉදිකිරීම හරහා සම්ප්‍රේෂණ ධාරිතාව ශක්තිමත් කිරීම, විදුලිබල සැපයුමේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහ සම්ප්‍රේෂණ හානිය අවම කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීමයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර තුනක කාල පරාසයකින් පසු, පසුගිය වසරේ ජූලි මාසයේදී අත්හිටුවන ලද යෙන්-ණය ව්‍යාපෘති එකොළහක් (11) නැවත ඇරඹීමෙන් පසු, සම්පූර්ණ කර ශ්‍රී ලංකාවට භාර දුන් පළමු යෙන්-ණය ව්‍යාපෘතිය මෙය වන බැවින් මෙම ව්‍යාපෘතිය සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
සිය අදහස් දැක්වීමේදී, තානාපති ඉසොමත මහතා පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට ජපානය ලබා දුන් සහයෝගය සිහිපත් කළ අතර, අඩු බලශක්ති හානිය, විශාල ධාරිතාව සහ දිගු දුර සම්ප්‍රේෂණය ඇතුළු මෙම ව්‍යාපෘතියේ විශේෂාංග ඉස්මතු කළ අතර, එමඟින් සම්ප්‍රේෂණ හානිය අවම කිරීමෙන් ශ්‍රී ලංකාවට කාබන් විමෝචනය අඩු කිරීමට ද උපකාරී වන බව සිහිපත් කලේය. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ කරන ලද හෝ දැනට ක්‍රියාත්මක වන සූර්ය බලශක්ති ව්‍යාපෘති තුනකින් නිදර්ශනය කර ඇති පරිදි, පැරිස් ගිවිසුමේ 6 වන වගන්තියේ රාමුව යටතේ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය [Joint Crediting Mechanism (JCM)] හරහා පුනර්ජනනීය බලශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමේදී අඛණ්ඩව සිදුවන ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැන ද ඔහු මෙහිදී සඳහන් කළේය. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස දූෂණය තුරන් කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම මෙන්ම පැහැදිලි කාර්මික ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් සංවර්ධනය කිරීම ගැන සඳහන් කරමින් ජපානයෙන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා විදේශ ආයෝජනයන්ට ආරාධනා කිරීමේ වැදගත්කම තානාපති ඉසොමත මහතා මෙහිදී අවධාරණය කළේය.

බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියේ අත්‍යවශ්‍ය අංගයක් බවත්, එය ස්ථාවරත්වය, විශ්වසනීයත්වය සහ වැඩි ධාරිතාවක් සහතික කරන බවත්, තවද මෙය මෑත අතීතයේ මුහුණ දුන් විදුලිබල බිඳවැටීම් වළක්වා ගැනීමට උපකාරී වන බවත්ය. ජපන් ජනතාවගේ දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගය වෙනුවෙන් ඔහු අවංක කෘතඥතාව පළ කළ අතර, අනාගත ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව තවත් ජපන් ආයෝජන අපේක්ෂා කරන බව සඳහන් කළේය.
