ජපාන තානාපතිවරයා හැඳල පිහිටි ආසියාවේ පැරණිතම ලාඳුරු රෝහලේ සංචාරයක නිරතවෙයි

2025/9/11
  

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකිඔ ඉසොමත මහතා සැප්තැම්බර් 9 වන දින වත්තල, හැඳල පිහිටි ඓතිහාසික ලාඳුරු රෝහලෙහි සංචාරයක නිරත විය. වර්ෂ 1708 දී ලන්දේසීන් විසින් ආරම්භ කරන ලද මෙම රෝහල ආසියාවේ පැරණිතම ලාඳුරු රෝහල ලෙස සැලකේ.
 
මෙම සංචාරයේදී රෝහල් කළමනාකාරිත්වය විසින් තානාපති ඉසොමත මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, එම රෝහලේ දීර්ඝ ඉතිහාසය පිළිබඳව දැනුවත් කරන ලදී. යටත් විජිත යුගයේදී සරණාගත කඳවුරක් ලෙස මුලින්ම ස්ථාපිත කරන ලද මෙම රෝහල, වර්තමානයේදී ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නේවාසික රෝගීන් සංඛ්‍යාවක් සඳහා සත්කාර සපයන පහසුකමක් ලෙස ක්‍රියාත්මක වේ. 1995 දී  ශ්‍රී ලංකාව තුළ ලාඳුරු රෝගය මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස සාර්ථකව තුරන් කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිකාර, නිරීක්ෂණ සහ රෝගී සහාය සඳහා  වන අඛණ්ඩ උත්සාහයන් සඳහා කැපවී සිටී.

  

තානාපති ඉසොමත මහතා ලාඳුරු රෝගය ආශ්‍රිත මානව හිමිකම් ගැටළු සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී ජාත්‍යන්තර සංවිධාන සඳහා ජපානයේ ස්ථිර දූත මණ්ඩලයේ සේවය කළ සමයේ, හෙතෙම, එම රෝගයෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය වෙනුවෙන් පෙනී සිටීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාඳුරු රෝගය තුරන් කිරීම සඳහා වූ සුහද තානාපති සහ එවකට නිපොන් පදනමේ සභාපතිව සිටි යොහෙයි සසකාවා මහතා සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කළේය. ශතවර්ෂ ගණනාවක් පැරණි මෙම ගැටලුවට අදාළව ඉදිරිපත් කරනු ලැබූ එවැනි ආකාරයේ පළමු යෝජනාව වන, 2008 දී මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරිපත්කරන ලද “ලාඳුරු රෝගයෙන් පීඩාවට පත් පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට එරෙහි වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ යෝජනාව” සාර්ථකව සම්මත කර ගැනීම සඳහා දෙදෙනාම එක්ව කටයුතු කළහ.
 
තානාපතිවරයා විසින් මෙම  රෝහලට, සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ විශේෂයෙන් දශක ගණනාවක් තිස්සේ කැපවී සිටින වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සිය හෘදයාංගම  කෘතඥතාවය පළ කරන ලදී. ලාඳුරු රෝගයෙන් පීඩාවට පත් පුද්ගලයින්ගේ ගෞරවය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේදී ජපානය ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව මිත්‍රත්වය සහ සහයෝගීතාවය පවත්වා ගන්නා බව ඔහු විසින් නැවතත් තහවුරු කරන ලදී.