ජපන් අගමැති සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රමුඛ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ව්‍යාපෘති දෙකකට අත්සන් තැබේ
2025/9/29

සැප්තැම්බර් මස 29 වන දින, “නිල ආරක්ෂක සහාය [Official Security Assistance (OSA)] වැඩසටහන” සහ “කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය” පිළිබඳ සටහන් හුවමාරුව සදහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් යන මහත්වරුන් විසින් අත්සන් තබන ලදී. මෙම අත්සන් තැබීම ජපන් අග්‍රාමාත්‍ය අතිගරු ෂිගේරු ඉෂිබා සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
ශ්‍රී ලංකාව සඳහා ජපානයේ පළමු OSA වැඩසටහන මඟින් ආරක්ෂාව පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගීතාව නව අදියරකට පිවිස ඇති බව පෙන්නුම් කරයි. 2023 දී දියත් කරන ලද OSA යනු සම අදහස් ඇති රටවල ආරක්ෂාව සහ අනාරක්ෂිත තත්ත්ව වැළැක්වීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ජපානයේ නව ආධාර ප්‍රදාන සහයෝගීතා රාමුවකි. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා වන “නිල සංවර්ධන සහාය” [Official Development Assistance (ODA)] ට වඩා වෙනස්ව, සන්නද්ධ හමුදාවන්ට සහය ලබන්නෙකු වීමට OSA හැකියාව ලබා දෙයි.
මෙම OSA වැඩසටහන යටතේ යෙන් මිලියන 500 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1ක ) මුදලක් වැය කරන අතර, නිරීක්ෂණය, නිරීක්ෂණ සහ ආපදා සහන සඳහා ජපානයේ නිෂ්පාදිත අති නවීන මිනිසුන් රහිත ගුවන් යානා (UAV) වර්ග දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට, කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා වන ආධාර ප්‍රදාන ව්‍යාපෘතිය යටතේ, යෙන් මිලියන 463 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 945 ක) මුදලකින්, මධ්‍යම, උතුරු, නැගෙනහිර උතුරු මැද සහ වයඹ යන පළාත් වල පශු සම්පත් පහසුකම් සඳහා තත්‍ය කාලීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා [Polymerase Chain Reaction (PCR)] උපකරණ, ශුක්‍රාණු චලන විශ්ලේෂක පද්ධතිය සහ රෝද හතරේ ට්‍රැක්ටර වැනි උපකරණ මෙන්ම තාක්ෂණික සහාය ද ලබා දෙනු ඇත.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම තුළින් සියලු දෙනාම ඇතුළත් වන පරිදි ආර්ථික සංවර්ධනයට ප්‍රජාව දායක කරගැනීමයි.
මෙවැනි සන්ධිස්ථාන සනිටුහන් කරන ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ජපානයේ ඇති නොසැලෙන කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට ද මෙමගින් දායක වේ.
