උතුරු පළාතේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජපානය සිය සහයෝගය ලබා දෙයි
2025/10/30

2025 ඔක්තෝබර් මස 30 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා, “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන [Grassroots Human Security Projects (GGP)]” යෝජනා ක්‍රමය යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ප්‍රදාන කොන්ත්‍රාත්තුවක් ස්කවිට මානුෂීය ආධාර සහ සහන ව්‍යාපෘතියේ [Skavita Humanitarian Assistance and Relief Project (SHARP)] වැඩසටහන් කළමණාකරු සරත් ජයවර්ධන මහතා සමඟ අත්සන් කළේය.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා සහාය වීම සඳහා SHARP විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන රජය ඇමරිකානු ඩොලර් 477,185 ක් (ආසන්න වශයෙන් රු. මිලියන 144 ක්) ලබා දී ඇත. මෙම නව ව්‍යාපෘතිය යටතේ, වර්ග මීටර 180,000 කට වැඩි භූමි ප්‍රමාණයක් බිම්බෝම්බ වලින් තොර කිරීමට අපේක්ෂා කරන අතර, එමඟින් ආසන්න වශයෙන් 600 දෙනෙකුට නැවත එම භූමියට පැමිණීමට සහ අවට ප්‍රදේශවල ආසන්න වශයෙන් 1,500 දෙනෙකුට තම ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීමට ඉඩ සැලසේ. 2002 සිට ජපානය ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වන අතර, ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 48 ඉක්මවයි.

SHARP හි කැපවීම සහ නොපසුබට උත්සාහය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කරමින් සහ අඛණ්ඩ ආධාර සඳහා ජපානයේ කැපවීම නැවත අවධාරණය කරමින් තානාපති ඉසොමත මහතා මෙසේ පැවසීය: “පසුගිය මාසයේ අතිගරු ජනාධිපති දිසානායක මහතාගේ ජපන් සංචාරය අතරතුර, එතුමා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය විසින් ලබාදෙන අඛණ්ඩ සහාය වෙනුවෙන් කෘතඥතාව පළ කළේය. එම සහාය ජාතික සංහිඳියාවට ධනාත්මක බලපෑමක් ඇති කරන බව හඳුනාගෙන, උතුරු නැගෙනහිර ප්‍රජා බලගැන්වීම සහ පශ්චාත් ගැටුම් සංවර්ධනයට මෙය සහාය වන බව ඔහු පිළිගත්තේය. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම කාරුණික පිළිගැනීමේ වදන් ජපානය අගය කරයි. තෝකියෝ හි නායකයින් දෙදෙනා අතර පැවති සමුළු රැස්වීමේදී, උතුරු හා නැගෙනහිර ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ගේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ වැදගත්කම දෙපාර්ශ්වයම තහවුරු කළහ. ජාතික සංහිඳියාව සහ සමාජ-ආර්ථික සංවර්ධනය සමීපව අන්තර් සම්බන්ධිත බව මතක තබා ගනිමින්, උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීමට ජපාන පාර්ශ්වය සිය කැපවීම නැවත තහවුරු කළේය”.
මෙම ආධාර ප්‍රදානය ලැබීම පිළිබඳව අදහස් දක්වමින් SHARP හි වැඩසටහන් කළමනාකරු සරත් ජයවර්ධන මහතා මෙසේ පැවසීය;
“SHARP හි අපගේ මෙහෙයුම් අපගේ උපරිමයෙන් කඩිසරව, කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස සිදු කරනු ඇත. තවත් වසරක් සඳහා SHARP සඳහා අනුග්‍රහය දක්වමින් නොමසුරුව සහයෝගය දැක්වීම සහ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ඉදිරියෙන්ම සිටීම සහ අපගේ රටේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සැලකිල්ල සහ සහාය වෙනුවෙන් ගරු තානාපති අකිඔ ඉසොමත මහතා, සියලුම GGP සහ ජපන් තානාපති කාර්යාලයේ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට SHARP හි සියලුම සාමාජිකයින්ගේ හෘදයාංගම කෘතඥතාව සහ ස්තුතිය පළ කිරීමට මම කැමැත්තෙමි. තවද මේ සියල්ලටම වඩා SHARP හි අපි ජපන් ජනතාවට බෙහෙවින් කෘතඥ වෙමු.”
