ව්‍යාපාරික පරිසරය පිළිබඳ දෙවන ජපන්-ශ්‍රී ලංකා කමිටුව රැස්වේ

2025/11/27

නොවැම්බර් මස 27 වන දින, ව්‍යාපාර පරිසරය පිළිබඳ ජපන්-ශ්‍රී ලංකා කමිටුවේ දෙවන රැස්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී (BOI) පැවැත්විණි.
 
ජපන් තානාපති කාර්යාලය, ජපන් බාහිර වෙළඳ සංවිධානය [Japan External Trade Organization (JETRO)], ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය [Japan International Cooperation Agency (JICA)], ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය [Japanese Chamber of Commerce and Industry (JCCI)], ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අදාළ ජපන් සමාගම් මෙන්ම ආයෝජන මණ්ඩලයේ සහ අනෙකුත් අදාළ ශ්‍රී ලාංකික බලධාරී ආයතන වල නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ජපන් ව්‍යවසායයන් දැනට මුහුණ දෙන ව්‍යාපාර ආශ්‍රිත ගැටළු රාශියක් පිළිබඳව දෙපාර්ශ්වයම සැලකිය යුතු සාකච්ඡාවල මෙහිදී නිරත වූහ.
 
ශ්‍රී ලංකාව තිරසාර ආර්ථික ප්‍රකෘතියක් කරා ස්ථාවර මාවතක ගමන් කරන බැවින්, මෙම කමිටුවේ සාකච්ඡා කාලෝචිත හා වැදගත් වේ. සැප්තැම්බර් මස 29 වන දින නිකුත් කරන ලද ජපන්-ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ ද මෙය අවධාරණය කර ඇති අතර, එහි සඳහන් වූයේ, “දෙපාර්ශ්වයම වෙළඳාම සහ ආයෝජන ක්ෂේත්‍රයේ ඇති සැලකිය යුතු අවස්ථාවන් නිරීක්ෂණය කළ අතර විනිවිදභාවය, පුරෝකථනය කිරීමේ හැකියාව සහ වෙනස්කමකින් තොරව සැලකීම ඇතුළුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැදගත්කම තහවුරු කළහ. මේ සම්බන්ධයෙන්, මෙම වසරේ අගෝස්තු මාසයේදී සිදු ‌කෙරුණු කාර්තුමය පදනමක් මත පැවැත්වීමට නියමිත ව්‍යාපාර පරිසරය පිළිබඳ ජපන්-ශ්‍රී ලංකා කමිටුව දියත් කිරීම දෙපාර්ශ්වයම පිළිගත්හ.”