ජපන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායම, ශ්‍රී ලංකාවට පැමිණ සිය මෙහෙයුම් ආරම්භ කරයි

2025/12/4

2025 දෙසැම්බර් මස 03 වන දින මධ්‍යම රාත්‍රියේදී, ජපන් ආපදා සහන [Japan Disaster Relief (JDR)] වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයින් විසිහත් දෙනෙකු කොළඹට පැමිණියහ. දැනට පවතින ආපදා තත්ත්වය තක්සේරු කිරීම සඳහා කලින් පැමිණි සාමාජිකයින් සිව්දෙනා ද ඇතුළුව, JDR වෛද්‍ය කණ්ඩායම මේ වනවිට වෘත්තිකයින් තිස් එක් (31) දෙනෙකුගෙන් සමන්විත වේ.
 
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා සමග ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ [Japan International Cooperation Agency (JICA)] ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා, සහ මෑතක් වන තුරුම කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කල සහ මහජන සෞඛ්‍ය සහ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, ගරු මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙම ජපන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායම පිළිග‌‌ත්තෝය.


JDR වෛද්‍ය කණ්ඩායමට ලියාපදිංචි වෛද්‍යවරුන් සහ හෙදියන්, ජපන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු සහ JICA කාර්ය මණ්ඩලය ඇතුළත් වේ. මෙම කණ්ඩායම සති දෙකක් සඳහා හලාවත හි හදිසි වෛද්‍ය සේවා සපයනු ඇත. බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර කිරීම නැවත ආරම්භ කර ඇති හලාවත දිස්ත්‍රික් මහ රෝහලට එහි සම්පූර්ණ ක්‍රියාකාරිත්වය නැවත ආරම්භ කිරීමට වැඩි කාලයක් අවශ්‍ය වන බැවින්, දේශීය ජනතාවගේ වෛද්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් හා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා JDR කණ්ඩායම රෝහල සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පූර්ණ සම්බන්ධීකරණයෙන් සිය කටයුතු සිදු කරනු ඇත.


ජපන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායමේ පැමිණීම පිළිගනිමින් තානාපති ඉසොමත මහතා පැවසුවේ, “මෙම කණ්ඩායමේ පැමිණීම සහ දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ඔවුන් වහාම යෙදවීම ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති ශක්තිමත් මිත්‍රත්වයට මනා සාක්ෂියක් වන අතර, අවශ්‍යතා ඇති ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීමේ අත දිගු කිරීම සඳහා ජපන් රජයේ සහ ජනතාවගේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරන බව සහ ශ්‍රී ලංකාව ඉතා දුෂ්කර කාලයකට මුහුණ දෙන විට ජපානය ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.” යනුවෙනුයි.


තවද JDR වෛද්‍ය කණ්ඩායමේ මෙම පැමිණිමට අමතරව, බලපෑමට ලක් වූ ජනතාවගේ දුෂ්කරතා අවම කිරීම සහ ඔවුන්ට සැනසීම සහ ඉදිරිය පිළිබද බලාපොරොත්තුව ගෙන ඒම සඳහා JICA ආයතනය හරහා හදිසි සහන භාණ්ඩ ඉක්මනින් ලබා දෙනු ඇත.