ජපානය විසින් ශ්‍රී ලංකාවේ ආපදාවෙන් විපතට පත් ජනතාවට හදිසි සහනාධාර ලෙස භාණ්ඩ තොගයක් ලබා දෙයි
2025/12/4

දෙසැම්බර් මස 04 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා විසින් “දිත්වා” සුළි කුණාටුවෙන් සිදු වූ හානිවලට ප්‍රතිචාර වශයෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වෙත හදිසි සහනාධාර ලෙස භාණ්ඩ තොගයක් භාර දෙන ලදී. ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය [Japan International Cooperation Agency (JICA)] හරහා ජපන් රජය සමස්තයක් වශයෙන් කූඩාරම් 200 ක්, බ්ලැන්කට් 1,200 ක්, සුළං පිරවිය හැකි නිදන මෙට්ට 1,200 ක්, ප්ලාස්ටික් තහඩු රෝල් 20 ක් (තාර්පෝලින්), අතේ ගෙන යා හැකි ප්ලාස්ටික් ජෙරී කෑන් 200 ක් සහ ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් සපයන ලදී. මෙම සහනාධාර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගංවතුර සහ නායයෑම් වලින් පීඩාවට පත් ජනතාවට බෙදා හරිනු ලැබේ.

අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවති මෙම භාරදීමේ උත්සවයට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුම මහතා ද සහභාගී වූහ.

“මෙම භාණ්ඩ සැපයීම, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින විශ්වාසයේ සහ මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීමට මනා සාක්ෂියක් වන අතර, අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම මේ හරහා පෙන්නුම් කරයි. මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී ජපානය ශ්‍රී ලාංකික ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරයි,” යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ තානාපති ඉසොමත මහතා පැවසීය.

මෙම හදිසි සහනාධාර ලෙස ලබාදුන් භාණ්ඩ වලට අමතරව, ජපන් ආපදා සහන [Japan Disaster Relief (JDR)] වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයින් 31 දෙනෙකු ද මේවනවිට ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට හදිසි වෛද්‍ය සේවා සැපයීමෙහි යෙදී සිටී.
