සුළි කුණාටු ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන් ජපානය යුනිසෙෆ් ආයතනය හරහා සනීපාරක්ෂක කට්ටල ආදිය ලබා දෙයි

2025/12/18

දෙසැම්බර් මස 18 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ් ආයතනයේ) නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය සමඟ එක්ව, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ගරු ආචාර්ය සුසිල් රණසිංහ මහතා බැහැදැක, සනීපාරක්ෂක කට්ටල සහ අදාළ සහනාධාර භාර දුන්හ.


ඇමරිකානු ඩොලර් 500,000 ක් වටිනා මෙම ආධාර ප්‍රදානය, ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක හදිසි ප්‍රදානයක කොටසක් වන අතර, ජපන් රජය දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධාන කිහිපයක් වෙත, එනම් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය [International Organization for Migration (IOM)], ලෝක ආහාර වැඩසටහන [World Food Programme (WFP)] සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල [United Nations Children’s Fund (UNICEF)] සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දීමට තීරණය කළේය.


මධ්‍යම, ඌව, නැගෙනහිර, බටහිර සහ වයඹ පළාත් වල දැඩි ලෙස පීඩාවට පත් ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින්, පිරිසිදු බව (ජලය සහ සනීපාරක්ෂාව)  සහ ළමා ආරක්ෂාව එනම් ළමා හිතකාමී අවකාශයන් සහ ළමයින්ට මනෝ සමාජීය සහාය ලබා දීම වැනි ක්ෂේත්‍ර වලට මැදිහත්වීම් සඳහා ජපානය යුනිසෙෆ් ආයතනය හරහා සහාය වනු ඇත.
 

මෙම ආධාරය,  හදිසි අවස්ථාවන් හී ලබා ගන්නා ජලය සහ සනීපාරක්ෂක සැපයුම් මගින් ඇතිවිය හැකි ජලයෙන් බෝවන රෝග වැළැක්වීම සඳහා මෙන්ම, අක්‍රියව ඇති ජල සැපයුම් පහසුකම් අලුත්වැඩියා කිරීම සහ සනීපාරක්ෂක පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම තුළින් ආරක්ෂිත තත්වයෙන් ජලය ලබා ගැනීම සහතික කිරීමට සහ බෝවන රෝග පැතිරීම වැළැක්වීමට දායක වනු ඇත.


මෙම ආධාරය පීඩාවට පත් ප්‍රජාවන්හී හදිසි අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව, බෝවන රෝග පැතිරීම වැළැක්වීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ද දායක වන බව තානාපති ඉසොමත මහතා අවධාරණය කළේය.
 
මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී ජපානය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් සිටින බව තානාපති ඉසොමත මහතා තවදුරටත් තහවුරු කළේය.