සුළි කුණාටු ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන් ජපානය ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) හරහා නවාතැන් කට්ටල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1 ක් ලබා දෙයි
2025/12/19

දෙසැම්බර් මස 19 වන දින, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිඔ ඉසොමත මහතා සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ [International Organization for Migration (IOM)] ශ්‍රී ලංකාවේ ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය එක්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ [Disaster Management Center (DMC)] අධ්‍යක්ෂ (පෙර සූදානම්) චතුර ලියනාරච්චි මහතා වෙත මෙම නවාතැන් කට්ටල භාර දෙන ලදී.
ඇමරිකානු ඩොලර් මිලියන 1 ක වටිනාකමකින් යුත්, IOM ආයතනය හරහා ලබා දෙන මෙම ආධාර ප්‍රදානය, ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක හදිසි ප්‍රදානයක කොටසක් වන අතර, එය දෙසැම්බර් 16 වන දින ජපන් රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධාන කිහිපයක් වෙත, එනම්, ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM), ලෝක ආහාර වැඩසටහන [World Food Programme (WFP)] සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල [United Nations Children’s Fund (UNICEF)] සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දීමට තීරණය කරන ලදී.
IOM ආයතනය හරහා ජපානය, මහනුවර, බදුල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවල දැඩි ලෙස පීඩාවට පත් නිවාස සඳහා මුළුතැන්ගෙයි කට්ටල, සේදුම් කට්ටල සහ ඇඳ ඇතිරිලි කට්ටල ඇතුළුව නවාතැන් කට්ටල 615 ක් ලබා දෙනු ඇත.

දෙසැම්බර් 17 වන දින වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) තත්ත්ව වාර්තාවට අනුව, පුද්ගලයින් 66,000 කට වැඩි පිරිසක් සහ පවුල් 22,000 කට වැඩි පිරිසක් තවමත් තමන්ගේම නිවාස නොමැතිව ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටිති. ඊට අමතරව, නිවාස 100,000 කට වැඩි ප්‍රමාණයක් අර්ධ වශයෙන් හානි වී ඇති අතර, නිවාස 6,000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ඇතිවී ඇති මෙම විනාශකාරී තත්වයන් යටතේ, ලබාදෙන මෙම ආධාර මගින් නිවාස අහිමි වූවන්ට තාවකාලික නවාතැන් සැපයීමට සහ ඔවුන්ගේ අත්‍යවශ්‍ය ජීවන අවශ්‍යතා සපුරාලීම අපේක්ෂා කෙරේ.
“අවතැන් වූ ජනතාවට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවල කොටසක් ලෙස ආරක්ෂිත ජීවන අවකාශයක් ඇතිකිරීමේ හදිසි අවශ්‍යතාවයක් තවමත් පවතී” යනුවෙන් තානාපති ඉසොමත මහතා සිය අදහස් දැක්වීමේදී පැවසීය. “මෙම ආධාරය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසයේ සහ මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීම මනාව පිළිබිඹු කරන අතර, අවශ්‍යතා ඇති අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය දැක්වීමට ජපානයේ නොසැලෙන කැපවීම තවදුරටත් අවධාරණය කරයි. මෙම දුෂ්කර කාල පරිච්ඡේදයට මුහුණ දෙන විට ජපානය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් සිටී.” යයි තානාපති ඉසොමත මහතා තවදුරටත් පවසා සිටියේය.
