ශ්‍රී ලංකාවේ පළමු ගුවන් තොටුපළ E - Gate පද්ධතිය සඳහා IOM සහ ජපානයේ සහාය ආරක්ෂිත දේශසීමා සහ සෞඛ්‍යාරක්ෂිත ගමන් පහසුකම් වර්ධනය කිරීම

2026/1/28

කොළඹ, ශ්‍රී ලංකාව - නවීන ගුවන් සේවා මධ්‍යස්ථානයක් බවට පත්වීමේ ප්‍රධාන පියවරක් ලෙස ශ්‍රී ලංකාව සිය දේශසීමා පද්ධති ශක්තිමත් කරමින් මගී පහසුකම් වැඩි දියුණු කරමින් සිටී.
 
ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් යටතේ, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ජපාන තානාපති කාර්යාලය සහ 1OM එක්ව 2026 ජනවාරි 28 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) ශ්‍රී ලංකාවේ පළමු ස්වයංක්‍රීය දේශසීමා පාලන (ABC) E-Gate පද්ධතිය නිල වශයෙන් ආරම්භ කළහ. මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ බෝවන රෝග වලට ප්‍රතිචාර දැක්වීම සඳහා දේශසීමා පාලන හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ජපානයේ අර මුදල් සහාය ඇති ව්‍යාපෘතියකි.
 
මෙම උත්සවයට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, සංක්‍රමණ හා විගමන දෙපාර්තමේන්තුව, ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම (AASL), ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) ඇතුළු ප්‍රධාන දේශසීමා ආයතන වල ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සහභාගී වූ අතර, ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු අකිඕ ඉසොමතා මහතා, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු කේ. එම්. ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා IOM මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය ද සහභාගී වූහ.


මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා පැවසුවේ,
 
ආරක්ෂාව, සෞඛ්‍යය සහ තිරසාරභාවය පිළිබඳ ගෝලීය ප්‍රමිතීන් මග පෙන්වීමෙන් නවීකරණය හරහා ගුවන් හා වරාය ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටී. මෙම උත්සාහයන් ජාත්‍යන්තර ගමන් සහ වෙළඳාම සඳහා ආරක්ෂිත හා කාර්යක්ෂම දොරටුවක් ලෙස අපගේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි.” යනුවෙනි.
 
මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 8.4ක් වන මෙම ව්‍යාපෘතිය, ප්‍රාදේශීය වසංගත සූදානම, සෞඛ්‍ය ආරක්ෂාව සහ ආරක්ෂිත සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ජපානයේ කැපවීම ප්‍රකාශ කරයි. එමෙන්ම, හදිසි ප්‍රතිචාර ක‍්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සහ දරාගත හැකි පද්ධති ගොඩ නැගීම අරමුණු කරගනී. මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, මහජන සෞඛ්‍ය ආරක්ෂාව සහ ජාත්‍යන්තර සෞඛ්‍ය නියමයන් (IHR) සමඟ අනුකූලතාවය පිළිබඳ ජාතික ප්‍රමුඛතා සමඟ ද සම්පූර්ණයෙන් ගැළපේ.


ව්‍යාපෘතියේ පුළුල් වැදගත්කම පිළිබඳ අදහස් දැක්වූ ජපාන තානාපති අතිගරු ඉසොමතා මහතා පැවසුවේ,
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇතුල්වීමේ ස්ථානවල බෝවන රෝග සූදානම සහ මෙහෙයුම් ශක්තිමත් කිරීමෙන් වහාම ලැබෙන ප්‍රතිලාහයන් ඉක්මවා යයි. මෑත කාලීන දැඩි සුළි කුණාටුව, වසංගත තත්වයන්ට ප්‍රතිචාර පමණක් නොව, ස්වාභාවික විපත් අවස්ථා වලදී ද දේශසීමා සූදානම අත්‍යවශ්‍ය බව තහවුරු කළේය. එවන් අවස්ථාවලදී මිනිසුන් සහ භාණ්ඩ ගමනාගමනය වැඩිවීම මහජන සෞඛ්‍ය අවදානම් ඉහළ නැංවිය හැක. ආර්ථික ප්‍රතිසාධනය සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව උත්සාහ දරන විට සංචාරක ක්ෂේත්‍රය අතිශයින් වැදගත් වේ. මෙම IOM ක්‍රියාත්මක ව්‍යාපෘතිය සමඟ සමාන්තරව, ජපාන රජයෙන් ණය සහාය යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, එහි ප්‍රධාන කොටසක් ලෙස නව පර්යන්තයක් ඉදි කරමින් පවතී. මෙම ව්‍යාපෘතිය අවසන් වූ පසු, වසර කිහිපයකින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම පරිවර්තනය වූවක් ලෙස දැක ගත හැකි වන අතර, එය ශ්‍රී ලංකා ජනතාවට මහත් අභිමානයක් වනු ඇත.”
 
තවදුරටත් ඔහු සඳහන් කළේ, “මෑත සුළි කුණාටුවට ප්‍රතිචාර දැක්වීම සඳහා ජපානය හදිසි සහාය මෙන්ම ප්‍රතිසාධන සහ විපත් අවදානම් අවම කිරීමේ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා අඛණ්ඩ ඇගයීම් හරහා ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇත. ඉදිරියට ද, මාර්ග යටිතල පහසුකම්, ජල කළමනාකරණය සහ විපත් සූදානම ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් හරහා ඒවාට මුහුණදීමේ හැකියාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට ජපානය කැපවී සිටී. මෙම ව්‍යාපෘතිය 'Clean Sri Lanka' සහ ඩිජිටල්කරණය වැනි ජාතික ප්‍රමුඛතා සමඟ ද සමීපව ගැළපේ. පිරිසිදු අපද්‍රව්‍ය කළමනා කරණ පද්ධති, වැඩි දියුණු කළ සනීපාරක්ෂක පහසුකම් සහ E - Gate ඇතුළු නවීන ඩිජිටල් මෙවලම් හඳුන්වාදීම, පරිසර කළමනා කරණය ශක්තිමත් කිරීම සහ මහජන සේවාවන් ඩිජිටල්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වන අතර, සංචාරකයින්ගේ අත්දැකීමද වැඩි දියුණු කරයි. ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස ජපානය ඉදිරියටත් කටයුතු කරනු ඇත.”


මෙම ව්‍යාපෘතිය යටතේ, ජපාන රජයේ සහාය ඇතිව, 1OM විසින් උසස් දේශසීමා කළමනා කරණ සහ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ රැසක් ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාරදෙන ලදී. ඒ අතර නවීන පිරික්සුම් පද්ධති, ජෛවමිතිය පදනම් කරගත් ප්‍රවේශ පාලන පද්ධති (Biometric Access Controls) සහ දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කරමින් මගී අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා පහසුකම් යාවත්කාලීන කිරීම ඇතුළත් වේ.
 
ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා IOM මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය පැවසුවේ,
මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිටුපස ඇති තාක්ෂණික නවෝත්පාදනයට නායකත්වය දීමට IOMට හැකි වීම ගෞරවයක්. ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය සමඟ ඇති ශක්තිමත් හවුල්කාරිත්වය මත මෙය ගොඩනැගී ඇත. ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ සෞඛ්‍යයට ඔරොත්තු දෙන හැකියාව තහවුරු කරන නවීන තාක්ෂණයෙන් ප්‍රධාන ඇතුල් වීම් ස්ථාන සන්නද්ධ කරමින්, දේශ සීමා කළමනාකරණයට නව ප්‍රමිතියක් ස්ථාපිත කර ඇත.”
 
නව E-Gate පද්ධති හරහා මගීන්ට ඉක්මන් සංක්‍රමණ ක්‍රියාදාමයන් අත්විඳීමට හැකි වන අතර, පොරොත්තු කාලය අවම කරමින් ගුවන් තොටුපළේ සමස්ත කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරනු ඇත. මෙම සන්ධිස්ථානය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ ප්‍රගතිය සහ දකුණු ආසියාවේ ආරක්ෂිතසහ අනාගතයට සූදානම් සංක්‍රමණ පිවිසුමක් ලෙස ඇති භූමිකාව තවදුරටත් තහවුරු කරයි.