අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය නැවත ආරම්භ විය

2026/2/16

2016 වසරේ ජූලි මාසයෙන් පසුව, එනම් වසර දහයකට පසු පළමු වරට අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පෙබරවාරි මස 16 වන දින නැවත කැඳවන ලදී. මෙම සංවාදයේ සම සභාපතිත්වය ජපානයේ ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ [Ministry of Economy, Trade and Industry (METI)] ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය තකෙහිකො මත්සුඔ සහ ශ්‍රී ලංකාවේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා යන මහත්වරුන් විසින් දරණ ලදී.
 
ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ සභාපති සහ ITOCHU ආයතනයේ විධායක උප සභාපති සහ ප්‍රධාන පරිපාලන නිලධාරී ෆුමිහිකෝ කොබයාෂි මහතාගේ නායකත්වයෙන් යුත් ව්‍යාපාරික නායකයින් 40 දෙනෙකුගෙන් පමණ සමන්විත මහා පරිමාණ ව්‍යාපාරික දූත පිරිසක් ද මෙම සංවාදයට සහභාගී වූහ.
 
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අතිගරු ජනාධිපති දිසානායක මැතිතුමාගේ ජපාන නිළ සංචාරයේදී නිකුත් කරන ලද “ජපාන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශය” මත පදනම්ව, ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය සහ ආර්ථික වර්ධනය වැඩිදියුණු කිරීමේ අවස්ථා ඒකාබද්ධව ගවේෂණය කිරීමේ අරමුණින් සංවාදය නැවත ආරම්භ කරන ලදී.


සංවාදයට පෙර, මේ පිළිබඳ නව සහයෝගිතා ගිවිසුමක් [Memorandum of Cooperation (MOC)] දෙපාර්ශ්වයේම නියෝජිතයන් විසින් අත්සන් කරන ලදී.
 
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ප්‍රමුඛතා තුනක් පිළිබඳව උප අමාත්‍ය මත්සුඔ මහතා සිය ආරම්භක දේශනයේදී අවධාරණය කළේය.
 
පළමුව, ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන විභවය ඉස්මතු කළේය, විශේෂයෙන් අතිගරු ජනාධිපති දිසානායක මහතාගේ සංචාරය අතරතුර METI සහ ජපාන බාහිර වෙළඳ සංවිධානය [Japan External Trade Organization (JETRO)] විසින් යෝජනාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද “අපනයන-නැඹුරු කාර්මික කොරිඩෝවක් ගොඩනැගීම පිළිබඳ සංකල්පීය මාර්ග සිතියම” හරහා මෙම සන්දර්භය තුළ, විශාල දකුණු ආසියානු වෙළඳපොළ උපයෝගී කර ගනිමින් අන්තර් කලාපීය වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම මෙන්ම ගෝලීය සැපයුම් දාමයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
 
දෙවනුව, අර්බුදකාරී කාලවලදී සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩි දියුණු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. මූල්‍ය ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා සංචාරක ව්‍යාපාරය, සංක්‍රමණික සේවකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ සහ තේ අපනයන මත අධික ලෙස රඳා පැවතීම අඩු කිරීම සහ ආර්ථික විවිධාංගීකරණය ඉදිරියට ගෙන යාම අවශ්‍ය බව ඔහු සඳහන් කළේය.
 
තෙවනුව, ධනාත්මක සහ සාර්ථක සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාව තුළට ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළඳපොළට පිවිසීම දිරිමත් කිරීමට නම්, රට තුළ ක්‍රියාත්මක වන ජපන් සමාගම් මුහුණ දෙන අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීමෙන් ව්‍යාපාරික පරිසරය තවදුරටත් වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ.


ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජපන් සමාගම් මුහුණ දෙන සංයුක්ත ගැටළු විසඳීමේ වැදගත්කම ගැන සඳහන් කරමින්, තානාපති ඉසොමත මහතා, පසුගිය අගෝස්තු මාසයේදී ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාර පරිසරය පිළිබඳ කමිටුව පිහිටුවීමේදී ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් අදාළ ආයතනවල සහයෝගය සහ එතැන් සිට ක්‍රියාකිරී මට්ටමේ රැස්වීම් කැඳවීම පිළිබඳව අගය මෙහිදී පළ කළේය. ඒ සම්බන්ධයෙන්, තානාපතිවරයා හොඳ ව්‍යාපාරික පරිසරයක මූලික අංග තුනක් වන “විනිවිදභාවය”, “පුරෝකථනය කිරීමේ හැකියාව” සහ “වෙනස් කොට සැලකීමකින් තොරව සැලකීම (සමානාත්මතාවෙයන් සැලකීම)” අවධාරණය කළේය. අනාගත ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහා ආයෝජන අනුමත කිරීමේ ක්‍රියා පටිපාටි සඳහා තනි කවුළු පද්ධතියක් ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම සහ ඒය ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන ෙලස තානාපතිවරයා ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවට ආයෝජකයින් ආරාධනා කිරීමේ ඉදිරි මාර්ගයක් ලෙස, රට තිරසාර වර්ධනයක් කරා ගෙන යන අපනයන නිෂ්පාදන සහ වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ ප්‍රතිපත්ති ඇතුළු ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් දැකීමට ජපානය කැමති බව ද ඔහු තවදූරටත් පැවසීය. විදේශීය ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ විභව ආයෝජන අවස්ථා තේරුම් ගත හැකි වන පරිදි විවිධ අංශ අනුව කාර්මික ප්‍රවර්ධන මාර්ග සිතියම් පැහැදිලි ආකාරයකින් දැකීමට ජපානය කැමති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
 
ජපන් විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින්, නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මුරෝතානි මහතා, සංවාදය අතරතුර හඳුනාගත් අභියෝගවලට මුහුණ දීම සඳහා කැපවීම තහවුරු කළේය.
 
ජපානයේ දේශීය වෙළඳපොළ හැකිලීම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය වෙළඳපොළට ජපන් සමාගම් තවදුරටත් ඒකාබද්ධ කිරීමේ වැදගත්කම සහ ඔවුන්ගේ ගෝලීය සැපයුම් දාම පුළුල් කිරීමේ වැදගත්කම කෝබයාෂි මහතා අවධාරණය කළේය. මෙම සංවාදයේ දී ඩෝල් ඒෂියා හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සහ මිත්සුයි සහ සමාගම විසින් ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීම් ගැන සඳහන් කරමින්, ජපානය සහ ශ්‍රී ලංකාව යන දෙඅංශයටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ජනනය කිරීම සඳහා ජපන් සමාගම් වර්තමානයේ මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීමේ අවශ්‍යතාවය ඔහු තවදුරටත් අවධාරණය කළේය.
 
අවසාවයේ මෙම සංවාදය අතරතුර, ජපානය සහ ශ්‍රී ලංකාව අතර අනාගත ව්‍යාපාරික සහයෝගීතාවයේ දියුණුව මෙන්ම ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආමන්ත්‍රණය කළ යුතු අභියෝග පිළිබඳව දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගත්හ.