ජපාන තානාපති කාර්යාලය ජපාන අධිරාජ්‍ය උතුමාණන් ගේ 66 වන ජන්මදිනය සමරයි
2026/2/26

ජපාන අධිරාජ්‍ය උතුමාණන් ගේ 66 වන ජන්මදිනය සැමරීම සඳහා 2026 පෙබරවාරි 25 වන දින ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් උත්සවයක් සංවිධානය කරන ලදී. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සවය තානාපති නිල නිවසේදී පවත්වන ලදී. උත්සවයට හිටපු ජනාධිපතිවරු, පාර්ලිමේන්තුවේ කථානායකවරු, අනෙකුත් කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 10,000 ඉසව්වට සහභාගී වී අවසන් ස්ථානයට පත් වූ නමුත්, කිසි විටෙකත් තරඟය අත් නොහැරිය ශ්‍රී ලාංකික ක්‍රීඩක රණතුංග කරුණානන්ද මහතාගේ කථාව පිළිබඳව සඳහන් කරමින් තානාපති ඉසොමත මහතා උත්සවයේ සත්කාරක ලෙස සිය අදහස් දැක්වීමේදී මෙසේ පැවසීය: “ආර්ථික ප්‍රකෘතිමත් වීමත් සමඟ ශ්‍රී ලංකාව ස්ථාවර ප්‍රගතියක් ලබා ගන්නා විට සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඇතුළුව නැවත ආරම්භ කරන ලද සියලුම යෙන්-ණය ව්‍යාපෘති ඒවා ක්‍රියාත්මක කිරීමේදී සුමට ප්‍රගතියක් ලබා ගන්නා විට, නුදුරු අනාගතයේ දී මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ඇතුළුව එක්ව වැඩ කිරීම සඳහා දෙරටට අලුත් අවස්ථා එළඹෙනු ඇතැයි මම විශ්වාස කරමි. ‘අංක 67 පැළඳි ධාවකයා’ (කරුණාන්ද මහතා) ගැන අපි මතකය අලුත් කර ගනිමු. පසුගිය වසර කිහිපය තුළ එහි ආර්ථික සංවර්ධනය තුළ ශ්‍රී ලංකාව නතර වූ අතර, අනෙක් අයට පිටුපසින් දිවීමට සිදු විය.එහෙත් යථා තත්ත්වයට පත්වීමේ මාවත සාර්ථකව අවසන් කළ හැකි බවත්, කිසි විටෙකත් අත් නොහැර ස්ථාවර හා තිරසාර සංවර්ධනයේ ඊළඟ අදියර කරා ගමන් කළ හැකි බවත් අපි විශ්වාස කරමු.”

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අදහස් දක්වමින් ගරු (වෛද්‍ය) ජයතිස්ස මහතා, අධිරාජ්‍ය උතුමාණන් හට දීර්ඝායුෂ හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ප්‍රාර්ථනා කළ අතර, ජපාන ජනතාවට සුබ පැතුම් එක් කළේය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සාර්ථක ජපන් සංචාරය සිහිපත් කළ හෙතෙම, ආයෝජන, සංවර්ධන ආධාර, සංස්කෘති කටයුතු වල සිට ජනතාව අතර වූ බැඳීම් දක්වා වෙනස්වන්නා වූ දෙරටේ දිගුකාලීන හා බහුවිධ සබඳතා පිළිබඳවද අවධාරණය කළේය.


ඉකෙබානා (ජපන් මල් සැකසුම් කලාව), ගැහැණු ළමයින්ගේ උත්සවය සඳහා සකස් කරන ලද හිනා-නින්ග්යෝ බෝනික්කන්, පිරිමි ළමයින්ගේ උත්සවය සඳහා සකසන ලද යොරෝයි-කබුතෝ (සමුරායි හිස්වැස්ම සහ සන්නාහය), කරාතේ නිරූපණයක් සහ විවිධ ජපන් සකේ වර්ග රස බැලීම වැනි සංස්කෘතික මානයන් අත්විඳිමින් සතුටුවීමට උත්සවයට සහභාගී වූ පිරිසට අවස්ථාව ලැබුණි. මෙම උත්සවය නව මිත්‍රත්වයන් සහ සහයෝගීතාවයන් පෝෂණය කරන අතරම, ගැඹුරු සහ දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කළේය.
