උතුරු සහ නැගෙනහිර පළාත්වල අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට අදාල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය සහාය ලබා දෙයි

2026/3/4
  

2026 මාර්තු මස 04 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා, “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන (GGP)” යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපෘති දෙකක් සඳහා ආධාර ප්‍රදාන කොන්ත්‍රාත්තු අත්සන් කළේය. මෙම කොන්ත්‍රාත්තු දිත්වය චයිල්ඩ් ඇක්ෂන් ලංකා හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩෙබී එදිරිසිංහ මහත්මිය සහ කාත්තන්කුඩි බහුකාර්ය සමුපකාර සංගමයේ සභාපති එම්.අයි.එම්. තායියුබ් මහතා සමඟ අත්සන් කරන ලදී.
 
චයිල්ඩ් ඇක්ෂන් ලංකා විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක් සඳහා ජපන් රජය ඇමරිකානු ඩොලර් 64,594 (ආසන්න වශයෙන් රු. මිලියන 20) ක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියට ළදරු පාසල් කාමර, තොරතුරු තාක්ෂණ කාමරයක් සහ අනෙකුත් පහසුකම් ඇතුළත් නව ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම මෙන්ම පවතින ළදරු පාසල් පන්ති කාමර නේවාසික නිවාසයක් බවට ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් වේ. මෙමගින් උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල්වලට ප්‍රවේශ වීමට ඇති බාධාවන්ට මුහුණ දෙන කාන්තාවන් සහ ගැහැණු ළමයින් ගෘහස්ථ හිංසනයෙන් ආරක්ෂා කරන අතර අවාසි සහගත තත්වයන්ට මුහුණ දෙන ගැහැණු ළමයින්ට මහත් පිටිවහලක් වනු ඇත.
 
මීට අමතරව, කාත්තන්කුඩි බහුකාර්ය සමුපකාර සමිතිය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් 39,249 ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 12 ක්) ලබා දී ඇත. දැරිය හැකි මිලකට ඉහළ පෝෂ්‍යදායී ආහාර ස්ථාවර ලෙස සැපයීම සහතික කිරීම සඳහා පාසල් ආපන ශාලාවක් ප්‍රතිසංස්කරණය කිරීම මෙම ප්‍රදානයේ අරමුණ වන අතර එමඟින් සිසුන් 2,100 ක් සඳහා ආහාර පහසුතම් වැඩිදියුණු කිරීමට මෙම ප්‍රදානය දායක වේ.
 
ශ්‍රී ලංකාවට ආධාර කිරීමේදී ගැටුම්වලින් පීඩාවට පත් උතුරු සහ නැගෙනහිර පළාත් කෙරෙහි ජපානයේ අවධානය අවධාරණය කරමින් තානාපති ඉසොමත මහතා මෙසේ පැවසීය: “පසුගිය සැප්තැම්බරයේ අතිගරු ජනාධිපති දිසානායක මැතිතුමා ජපානයට කළ නිල සංචාරයේදී, ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් දෙදෙනා උතුරු සහ නැගෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ගේ අභියෝගවලට මුහුණ දීමේ වැදගත්කම තහවුරු කළහ. ජාතික සංහිඳියාව සහ සමාජ-ආර්ථික සංවර්ධනය සමීපව අන්තර් සම්බන්ධිත බව මතක තබා ගනිමින්, මෙම පළාත්වල සංවර්ධනය සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීමට ජපන් පාර්ශවය සිය කැපවීම නැවත තහවුරු කළේය." තානාපතිවරයා තවදුරටත් මෙසේ පැවසීය: "අද අත්සන් කරන ලද ව්‍යාපෘති ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ රටේ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වනවා පමණක් නොව, ජපානයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර නොසැලෙන මිත්‍රත්වයේ කල් පවතින සංකේතයක් ලෙසද පවතිනු ඇත.”

  

මෙම ආධාර ප්‍රදාන ලැබීම පිළිබඳව අදහස් දක්වමින්, චයිල්ඩ් ඇක්ෂන් ලංකා හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩෙබී එදිරිසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.
 
“මෙම ව්‍යාපෘතිය ළමුන් සහ තරුණයින් 200 ක් පමණ සෘජුවම සහාය වන අතර වක්‍රාකාරයෙන් පුළුල් ප්‍රජාවේ 750 කට අධික පිරිසකට මෙම පහසුකම් වලට ළඟා වීමට ඉඩ සැලසීම ගැන අපි ආඩම්බර වෙමු. අපගේ දරුවන් ආරක්ෂිතව තබා ගැනීමට සහ ඔවුන්ට සැබවින්ම ලැබිය යුතු අධ්‍යාපනය ලබා දීම සහතික කිරීම සඳහා ජපන් තානාපති කාර්යාලය සමඟ කටයුතු කිරීමට ලැබීම Child Action Lanka ආයතනයට ගෞරවයකි. එක්ව, අපි මධ්‍යස්ථානයක් ගොඩනඟනවා පමණක් නොව; වඩාත් අවදානමට ලක්විය හැකි දරුවන්ට පවා ආරක්ෂිතව, සතුටින් සහ ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට සූදානම් බව දැනිය හැකි ආරක්ෂිත අවකාශයක් මෙන්ම ඉගෙනීම සඳහා සැබෑ නිවහනක් නිර්මාණය කරමින් සිටිමු .”
 
මෙම ප්‍රදාන ආධාර ලැබීම පිළිබඳව අදහස් දක්වමින් කාත්තන්කුඩි බහුකාර්ය සමුපකාර සංගමයේ සභාපති එම්.අයි.එම්. තයියුබ් මහතා මෙසේ පැවසීය.
 
“පාසල් ආපන ශාලා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම සම්බන්ධයෙන් කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය ජපන් තානාපති කාර්යාලයට බෙහෙවින් කෘතඥ වෙනවා.
 
2004 සුනාමි ව්‍යසනයේදී පාසලේ මුල් ආපන ශාලාවට දැඩි ලෙස හානි සිදු වූ අතර සිසුන් 2,100 කට සනීපාරක්ෂක, පෝෂ්‍යදායී සහ ආරක්ෂිත ආහාර ලබා ගැනීමට නොහැකි විය. මෙම මුලපිරීම සිසුන්ගේ සුභසාධනය වැඩි දියුණු කිරීමට, ඉගෙනුම් තත්ත්වයන් වැඩිදියුණු කිරීමට හේතු වනු ඇත. ඒ් ෙහයින් ජපන් රජයට සහ ජනතාවට හෘදයාංගම ස්තූතිය පළකරමු”
 
1989 සිට ජපානය “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන (GGP)” යෝජනා ක්‍රමය යටතේ, GGP (Grant Assistance for Grassroots Human Security Projects) යෝජනා ක්‍රමය හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 62 ක ආධාර ලබා දී ඇත.