දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාලමක් ශක්තිමත් කිරීම සඳහා ජපානය ආධාර ප්‍රදානයක් ලබා දෙයි
2026/3/16

2026 මාර්තු මස 16 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා, “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන (GGP)” යෝජනා ක්‍රමය යටතේ බුත්තල ප්‍රදේශයේ පාලමක් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රදාන කොන්ත්‍රාත්තුවක් අත්සන් කළේය. මෙම කොන්ත්‍රාත්තුව දිමුතු ප්‍රජා සංවර්ධන සංගමයේ සභාපති පූජ්‍ය නාගොල්ලේ නන්දරතන ස්වාමීන්වහන්සේ සමඟ අත්සන් කරන ලදී.
දිමුතු ප්‍රජා සංවර්ධන සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක් සඳහා ජපන් රජය ඇමරිකානු ඩොලර් 25,432 ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 7.8) ලබා දී ඇත. මෙම ප්‍රදානය මගින් දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාලම් ආධාරක කඩිනම්න් ශක්තිමත් කිරීම සහ පාලම ආරක්ෂා කිරීම සඳහා රැඳවුම් බිත්ති ඉදිකිරීම සඳහා අරමුදල් සපයනු ලබන අතර, එමඟින් පදිංචිකරුවන් 3,200 කට අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා සඳහා ආරක්ෂිත ප්‍රවේශය සහතික කෙරේ.

ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්වලට මුහුණ දීම සඳහා ආයතනික රාමු ශක්තිමත් කිරීම කෙරෙහි ජපානය දක්වන අවධානය අවධාරණය කරමින් තානාපති ඉසොමත මහතා මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ අදියර කරා ගමන් කරන විට, ජපානය ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ඇති අධිෂ්ඨානයෙහි ස්ථිරව සිටී”. තානාපතිවරයා තවදුරටත් මෙසේ පැවසීය: “අද අප විසින් අත්සන් කරනු ලැබූ ව්‍යාපෘතිය, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සහ රටේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා දායක වනවා පමණක් නොව, ජපාන සහ ශ්‍රී ලංකා ජනතාව අතර නොසැලෙන මිත්‍රත්වයේ කල් පවතින සංකේතයක් ලෙස ද පවතිනු ඇත.”
මෙම ආධාර ප්‍රදානය ලැබීම පිළිබඳව අදහස් දක්වමින් දිමුතු ප්‍රජා සංවර්ධන සංගමයේ සභාපති පූජ්‍ය නාගොල්ලේ නන්දරතන මහතා මෙසේ පැවසීය. “ජපානය සහ ශ්‍රී ලංකාව සුන්දර, දිගුකාලීන මිත්‍රත්වයක් බෙදා ගනී. සංවර්ධනයෙන් ඔබ්බට, නිරවද්‍යතාවයෙන්, විනයෙන් සහ කරුණාවෙන් යුතුව කටයුතු කරන ජපන් ක්‍රමය අපි සැමවිටම අගය කර ඇත්තෙමු. අපගේ ජල ව්‍යාපෘති සහ ප්‍රජා ගොඩනැගිලි වැනි අපගේ අතීත සහයෝගීතාවයන් මෙතරම් කල් පවතින සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා මෙම ප්‍රවේශය සැබවින්ම අපගේ මාර්ගෝපදේශකයා වී ඇත.
මෙම කාර්ය සිදු කිරීම සඳහා අනුග්‍රහය දක්වන තානාපතිතුමාට, වෙහෙස මහන්සි වී වැඩ කරන තානාපති කාර්යාල කණ්ඩායමට සහ අපගේ සම්බන්ධීකාරකට විශේෂ ස්තූතිය මෙහිදී අප විසින් ප්‍රකාශ කර සිටින්නෙමු.”
1989 සිට ජපානය “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන” යෝජනා ක්‍රමය හෙවත් (GGP) Grant Assistance for Grassroots Human Security Projects යෝජනා ක්‍රමය හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 62 ක ආධාර ෙම් වන විට ලබා දී ඇත.
