අති නවීන වෛද්‍ය උපකරණ සැපයීම තුළින් ජපානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ධාරිතාව වඩාත් දියුණු තත්වයකට ශක්තිමත් කරයි
2026/3/24
මාර්තු මස 24 වන දින, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දන්ත වෛද්‍ය ඒකකය සහ 4D ඇන්ජියෝ CT කට්ටලය භාරදීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා සහභාගී වූ අතර, මේ සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රෝහලේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය. එමඟින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් හවුල්කාරිත්වය ඉස්මතු විය.
2023 දෙසැම්බර් මාසයේදී අක්ෂි වෛද්‍ය උපකරණ මූලික වශයෙන් ලබා දීමෙන් පසු මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස මෙම භාරදීම සනිටුහන් කෙරිනි. වත්මන් අදියර සැලකිය යුතු සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර, දකුණු ආසියාවේ මෙවැනි ආකාරයේ අති නවීන CT ඇන්ජියෝග්‍රැෆි පද්ධතියක් මෙන්ම දන්ත ඒකක ද හඳුන්වාදීම සිදුවන පළමු අවස්ථාව මෙයට ඇතුළත් වේ. මෙම දායකත්වයන් පිළිකා, ආඝාතය සහ දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග [non-communicable diseases (NCD)] හඳුනාගෙන ඒවාට පිළියම් කිරීමට ශ්‍රී ලංකාවට ඇති ධාරිතාව වැඩි දියුණු කිරීමටත්, එමඟින් ජීවිත බේරා ගැනීමටත්, දිගුකාලීන සංකූලතා අඩු කිරීමටත්, රෝගීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කෙරේ.

CT ඇන්ජියෝග්‍රැෆි පද්ධතිය CT ස්කෑනිං සහ ඇන්ජියෝග්‍රැෆි කාර්යයන් ඒකාබද්ධ කරන අතර එමඟින් ඉතා නිවැරදි හා කාලෝචිත රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ලබා ගත හැකිය. ශ්‍රී ලංකාවේ සහ පුළුල් ලෙස ගත් කළ කලාපයේ ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස රෝහලේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරීම මේ තුළින් අපේක්ෂා කෙරේ.
ඊට අමතරව, දන්ත ඒකක 10 ක් සැපයීම රෝහලේ දන්ත සේවා ස්ථාපිත කිරීමට සහ වැඩිදියුණු කිරීමට සහාය වනු ඇත. ජපානයේ මුඛ සෞඛ්‍යය සමස්ත සෞඛ්‍යයට සමීපව සම්බන්ධ යැයි සලකනු ලබන අතර සෞඛ්‍ය සම්පන්න බව ආයු අපේක්ෂාව දීර්ඝ කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එබැවින් මෙම සහයෝගය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා තවදුරටත් ප්‍රවර්ධනයට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල 1984 දී ජපන් රජයේ ප්‍රදාන ආධාර යටතේ ඉදිකරන ලදී. මුලින් සැලසුම් කරන ලද ඇඳන් 1,000 ට තවත් ඇඳක් එකතු කිරීමට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කළ ප්‍රකාශයෙන් ආරම්භ වූ සුප්‍රසිද්ධ “ඇඳන් 1001” කතාව මෙම සහයෝගීතාවයේ ඉතිහාසය පිළිබිඹු කරන අමතක නොවන සිදුවීමක් ලෙස පවතී.

වෛද්‍ය පහසුකම් සංවර්ධනය කිරීම, රුධිර සැපයුම් පද්ධති ශක්තිමත් කිරීම සහ COVID-19 වසංගතය අතරතුර එන්නත් බෙදා හැරීමේ සහාය ඇතුළුව දශක ගණනාවක් පුරා ජපානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට අඛණ්ඩව සහයෝගය ලබා දී ඇත. තවද, ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික අර්බුදය අතරතුර, සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ජපානය විසින් අත්‍යවශ්‍ය ඉන්ධන ලබා දුන් අතර, ස්වාභාවික විපත් කාලවලදී, හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා හදිසි වෛද්‍ය කණ්ඩායම් පිටත් කර හැරියේය. මෙම උත්සාහයන් පෙන්නුම් කරන්නේ විශේෂයෙන් අවශ්‍යතා ඇති අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ එකාවන්ව සිටීමට ජපානයේ ඇති අඛණ්ඩ කැපවීම සහ සියලුම පුද්ගලයින්ට සෞඛ්‍ය සම්පන්න සහ ගෞරවනීය ජීවිත ගත කළ හැකි සෞඛ්‍ය සේවා පද්ධතියකට සහාය වෙමින්, “මිනිසුන් සඳහා ආයෝජනය කිරීම” සහ “මානව ආරක්ෂාව” සඳහා ජපානයේ ඇති කැපවීමයි.
තානාපති ඉසොමත මහතා මෙසේ පැවසීය, “මෙම සහයෝගය හුදෙක් උපකරණ සැපයීම පමණක් නොව, ජීවිත සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා වන්නාවූ පදනමයි. ජපානයේ සහාය ඇතිව ඉදිකරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, අපගේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස පවතී. අනාගත පරම්පරාවන්ට ප්‍රතිලාභ ලබා දෙන තිරසාර සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීමට සහ අපගේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වෙමු.”
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය ජයතිස්ස මහතා මෙසේ පැවසීය, “මෙය හුදෙක් යන්ත්‍ර පරිත්‍යාගයක් නොවේ; එය අපගේ රෝගීන්ගේ ජීවිත සහ අනාගතය සඳහා කරන ආයෝජනයකි. මෙම නවීන දන්ත වෛද්‍ය ඒකකය ස්ථාපිත කිරීම මගින්, අපගේ ජනගහනය සඳහා මුඛ රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ඇති තීරණාත්මක අවශ්‍යතාවයක් සපුරාලමින් සිටිමු. මෙම ත්‍යාගශීලී සහයෝගය වෙනුවෙන් ජපන් රජයට සහ ජනතාවට අපගේ ගැඹුරු කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. මේවා සැබෑ මිත්‍රත්වයේ ක්‍රියාවන් වන අතර, ශ්‍රී ලංකාවේ ජනතාව සැමවිටම ඔවුන් කෘතඥතාවයෙන් සිහිපත් කරනු ඇත. ”
සෞඛ්‍ය සේවා අංශය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ගැඹුරු කිරීම සඳහා ජපානය ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරනු ඇත.
