“හෙලෝ කිටී” ශ්‍රී ලාංකික සිසුන්ගේ මුවගට සිනහවක් රැගෙන එයි

2026/5/25

ගෝලීය වශයෙන් ආදරය දිනූ ජපන් කාටූන් චරිතයක් වන “හෙලෝ කිටී” (“Hello Kitty”) චරිතය  ශ්‍රී ලාංකික සිසුන් වෙත හඳුන්වා දීම සඳහා වූ ප්‍රවර්ධන වැඩසටහන් දෙකක් පසුගිය දින දෙකකදී  පැවැත්වීමට කටයුතු යෙදිණි. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය, ජපන් සමාගමක් වන සීමාසහිත සැන්රියෝ සමාගම (Sanrio Company, Ltd.) හා සහයෝගයෙන්, එම සමාගමේ සමාජ දායකත්ව වැඩසටහන වන "සැන්රියෝ නකායෝකු ව්‍යාපෘතියේ" (“Sanrio Nakayoku Project”) කොටසක් ලෙස මෙම ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු කරන ලදී.
 
උද්‍යෝගිමත් සිසුවියන් 500 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යුතුව, මැයි මස 19 වන දින නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේදී හා මැයි මස 20 වන දින  කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී මෙම වැඩසටහන් පැවැත්වීමට කටයුතු යෙදුණි.


සැන්රියෝ සමාගමේ ඉතිහාසය සහ එහි නිර්මාණයක් වන ලෝක ප්‍රසිද්ධ  “හෙලෝ කිටී” පිළිබඳව සිසුවියන් දැනුවත් වූ අතර, නිර්මාණාත්මක චිත්‍ර ඇඳීමේ ක්‍රියාකාරකම්වල ද නිරත විය. වැඩසටහනේ කැපී පෙනෙනම සිදුවීම වූයේ සිසුවියන් පුදුමයට පත්කරමින් “හෙලෝ කිටී” ඔවුන් අතරට පැමිණීමයි. එමගින් සිසුවියන් ඉමහත් සතුටට පත් වූ අතර, “හෙලෝ කිටී” සමඟ ඡායාරූප ගැනී‌මෙන් හා ඇයව සමීපව දැකබලා ගැනීමෙන් කිසිදා අමතක නොවන ස්මරණයන් රැසක් සිය මතක ගොන්නට එක්කරගන්නා ලදී.

  

විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබන දරුවන් සිටින රෝහල් වෙත පැමිණෙමින් ඔවුන් සතුටට පත්කිරීම සඳහා “හෙලෝ කිටී” විසින් සිදුකරනු ලබන රෝහල් සංචාරයන් ඇතුළත්, සීමාසහිත සැන්රියෝ සමාගම විසින් සිදුකරනු ලබන “Sanrio Character Aid” නම් මුලපිරීම පිළිබඳව ද මෙහිදී එම සමාගම විසින් තොරතුරු බෙදාගන්නා ලදී.
 
“හෙලෝ කිටී” චරිතයේ ඇති බලපෑම මගින් දරුවන්ට ප්‍රීතිය සහ සැනසීම ගෙන ඒම සඳහා සැන්රියෝ සමාගමේ ඇති  කැපවීම මෙම මුලපිරීම් මගින් පිළිබිඹු වේ.

  

මෙම වැඩසටහන් මගින් ජපන් “කවායි” (සුරතල්) සංස්කෘතියේ චමත්කාරය ප්‍රවර්ධනය කරන අතරම, එරට විසින් නිර්මාණය කරන ලද චරිත ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ගන්නා ලද  ඉතා  හොඳ පියවරක් සලකුණු කර ඇත.
© ’26 SANRIO CO., LTD. APPR. NO. GS670009