උතුරු සහ නැගෙනහිර පළාත්වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජපානය සහාය ලබා දෙයි
2026/5/27

2026 මැයි මස 27 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත මහතා, “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන (GGP)” යෝජනා ක්‍රමය යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතීන් සඳහා ප්‍රදාන කොන්ත්‍රාත්තු අත්සන් කළේය. මයින් ඇඩ්වයිසරි ගෘප් හෙවත් (MAG) ආයතනයේ සහාය සේවා ප්‍රධානී කෙවින් ක්ලර්ක්ස් මහතා, හාලෝ ට්‍රස්ට් ආයතනනයේ (HALO භාරය) වැඩසටහන් කළමනාකාර හැනා පික්ටන් මහත්මිය සහ ඩෙල්වොන් සහාය සමාජ සමගිය (DASH) හි අධ්‍යක්ෂ/වැඩසටහන් කළමනාකාර ආනන්ද චන්ද්‍රසිරි මහතා සමඟ මෙම ගිවිසුම් අත්සන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා සහාය වීම සඳහා MAG, The HALO Trust සහ DASH විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතින් සඳහා ජපන් රජය ඇමරිකානු ඩොලර් 1,343,202 (ආසන්න වශයෙන් රු. මිලියන 400) ලබා දී ඇත. මෙම නව ව්‍යාපෘතීන් යටතේ, වර්ග මීටර 400,000 පමණ භූමි ප්‍රමාණයක් බිම්බෝම්බ වලින් තොරව පවිත්‍ර කිරීමට අපේක්ෂා කරන අතර, එමඟින් 3,100 කට වැඩි පිරිසකට තම ඉඩම් වෙත ආපසු යාමට සහ අවට ප්‍රදේශවල ආසන්න වශයෙන් 22,000 ක ජනතාවකට ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීමට ඉඩ සැලසේ. ජපානය 2002 සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වී ඇති අතර, මේ දක්වා ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 49 ඉක්මවයි.
“බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලදී රාජ්‍ය නොවන සංවිධාන තුන විසින් දරන ලද නොපසුබට උත්සාහය වෙනුවෙන් සිය ගැඹුරු කෘතඥතාව පළ කරමින් තානාපති ඉසොමත මහතා මෙසේ පැවසීය: “අද දින ප්‍රදාන කොන්ත්‍රාත්තු තුනක් (3) අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන් ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට අඛණ්ඩව ආධාර කිරීම සඳහා ජපානයේ කැපවීමට තවත් සාක්ෂියකි. ඒ සමඟම, උතුරු හා නැගෙනහිර සමාජ-ආර්ථික සංවර්ධනයේ ඊළඟ අදියර කරා බාධාවකින් තොරව ගමන් කිරීමට ජනතාවට උපකාර කිරීම සඳහා ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සහ අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පීඩාවට පත් ප්‍රජාවන්ට ලබාදෙන ආධාර ශක්තිමත් කළ යුතුය. ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානයේ අඛණ්ඩ සහාය ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින විශ්වාසයේ සහ මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීම තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”
මෙම ආධාර ප්‍රදානය ලැබීම පිළිබඳව අදහස් දක්වමින් MAG හි සහාය සේවා ප්‍රධානී කෙවින් ක්ලර්ක්ස් මහතා මෙසේ පැවසීය. “වසර 23 කට ආසන්න කාලයක් තිස්සේ, ජපන් රජයේ දිගුකාලීන සහයෝගය ඇතිව, ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ සහ අවෙශ්ෂිත පුපුරණ ද්‍රව්‍ය තර්ජනය අඩු කිරීමට MAG සංවිධානය උදව් කර ඇත. මෙම ආධාරය මඟින් MAG හට වර්ග මීටර් මිලියන 3.9 කට වැඩි ඉඩකඩක් නිදහස් කිරීමට සහ පුපුරණ ද්‍රව්‍ය දහස් ගණනක් විනාශ කිරීමට හැකි වී තිබේ.”
මෙම ආධාර ප්‍රදානය ලැබීම පිළිබඳව අදහස් දක්වමින් HALO භාරයේ වැඩසටහන් කළමනාකාරිනී හැනා පික්ටන් මහත්මිය මෙසේ පැවසුවාය. “ජපන් රජයේ අඛණ්ඩ සහ ත්‍යාගශීලී සහයෝගය ගැන HALO භාරය සතුටු වෙනවා. මේ වන විට උතුරු පළාතේ නැවත පදිංචි වීමට, අවතැන් වූ 185,000කට අධික පිරිසකට සහාය වෙමින්, ප්‍රජාවන්ට තිරසාර ජීවනෝපායන් නැවත ගොඩනඟා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන පරිදි HALO භාරය බිම් බෝම්බ 303,000ක් ඉවත් කර වර්ග කිලෝමීටර් 121ක දූෂිත ඉඩම් මුදා හැර තිබෙනවා.”
මෙම ආධාර ප්‍රදානය ලැබීම පිළිබඳව අදහස් දක්වමින් DASH හි අධ්‍යක්ෂ / වැඩසටහන් කළමනාකරු ආනන්ද චන්ද්‍රසිරි මහතා මෙසේ පැවසීය. “DASH විසින් වර්ග කිලෝමීටර 8.1 ක භූමි ප්‍රමාණයක් මේ දක්වා නිදහස් කර, දහස් ගණනක් බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය විනාශ කර ඇති අතර, 195,000 කට ආසන්න පිරිසකට සෘජුව සහ වක්‍රව ප්‍රතිලාභ ලබා දී ඇත. අද දින ලබාදූන් මෙම ව්‍යාපෘතිය මඟින් වර්ග මීටර් 110,000 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් නිදහස් කර, ආරක්ෂාව, ජීවනෝපායන් සහ යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කර, නැවත පදිංචි කිරීමට ඉඩ සැලසේ.”


