ඩිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ නැඟෙනහිර පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි ගොඩනැගීම සඳහා ජපානය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගනී
2026/5/29

2026 මැයි 29, කොළඹ - ශ්‍රී ලංකා රජය සමඟ එක්ව ජපන් රජය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඩිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ ධීවර ප්‍රජාවගේ මිරිදිය ධීවර ජීවනෝපාය යළි ගොඩනැගීම සහ එම ප්‍රජාවන්හි ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන්, ජපන් තානාපති ගරු අකියෝ ඉසොමාටා තානාපතිවරයා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා විසින් කොළඹ පිහිටි ජපන් තානාපති කාර්යාලයේදී මෙම වැඩසටහන සඳහා නිල වශයෙන් අත්සන් තබන ලදි.
මෙම ව්‍යාපෘතිය සඳහා ජපන් රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.33ක සම්පූර්ණ ප්‍රතිපාදනයක් ලබා දී ඇත. 2026 ජූනි මස සිට 2027 නොවැම්බර් දක්වා අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ඩිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට සහ වගා පාදක ධීවර කර්මාන්තය මත පදනම් වූ ධීවර සංවිධානවලට (Culture-Based Fisheries Organizations - CBFOs) මෙමඟින් සහාය හිමි වේ.
ඩිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා මහා පරිමාණ ගංවතුර තත්ත්වයක් ඇති විය. එයින් නැඟෙනහිර පළාතේ මිරිදිය ධීවර පද්ධතිවලට දැඩි බලපෑමක් එල්ල විය. ගංවතුර සහ හදිසි ජලාශ මුදාහැරීම් හේතුවෙන් ගබඩා කර තිබූ මත්ස්‍ය පැටවුන් මෙන්ම ආහාරයට ගන්නා ප්‍රමාණයේ මත්ස්‍යයන් ද විශාල වශයෙන් විනාශ විය. එසේම, බාධක දැල් සහ ධීවර යටිතල පහසුකම් විනාශ වූ අතර, මත්ස්‍ය අභිජනනය මෙන්ම ගබඩා කිරීමේ චක්‍ර ද අඩාල විය. මේ හේතුවෙන් මත්ස්‍ය සම්පත ක්ෂය වීම හේතුවෙන් මත්ස්‍ය නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටුණි. ඒ හරහා, ඒ වන විටත් දැඩි ආර්ථික අවදානමකට මුහුණ දී සිටි මිරිදිය ධීවර පවුල් දහස් ගණනකගේ ආදායම් විශාල වශයෙන් අහිමි විය.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මිරිදිය ධීවර නිෂ්පාදනය සහ ඔවුන්ගේ ජීවනෝපාය වේගවත්ව යළි ගොඩනැගීමය. ඒ සඳහා ජලාශවලට මත්ස්‍ය පැටවුන් නැවත හඳුන්වා දීම, පාවෙන අභිජනන කූඩු ලබා දීම සහ අත්‍යවශ්‍ය මත්ස්‍ය අභිජනන හෝමෝන සැපයීම සිදු කරනු ලබයි. මීට අමතරව, අනාගතයේදී ඇති විය හැකි ගංවතුර සහ ජලාශ පිටාර ගැලීම්වලදී මත්ස්‍යයන් අහිමි වීම වළක්වා ගැනීම සඳහා බාධක දැල් සවි කිරීමට ද කටයුතු යොදා ඇත.
මෙම මැදිහත්වීම හරහා නැඟෙනහිර පළාතේ ජලාශ 30ක් ආශ්‍රිතව ධීවරයන් 1,504 දෙනෙකුට ඍජුවම සහාය හිමි වේ. ඊට සමගාමීව, ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ ආදායම් ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම මගින් පවුල්වල සාමාජිකයන් 6,000කට වැඩි පිරිසකට වක්‍රව ප්‍රතිලාභ සැලසේ. ඉලක්කගත ජලාශ තුළ මත්ස්‍ය නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට ද මෙම ව්‍යාපෘතිය අපේක්ෂා කරයි. මේ යටතේ මත්ස්‍ය පැටවුන් මිලියන 5.48ක් ජලාශවලට මුදාහරින අතර, වාර්ෂිකව මත්ස්‍ය පැටවුන් මිලියන 16ක් පමණ නිෂ්පාදනය කළ හැකි ප්‍රජාව විසින් කළමනාකරණය කරන කූඩු පද්ධති ස්ථාපිත කරනු ලැබේ.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් අමාත්‍යවරයා, සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ගේ මිරිදිය ධීවර ජීවනෝපාය යළි ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළේය. "ඩිට්වා සුළි කුණාටුවෙන් නැඟෙනහිර පළාතේ මිරිදිය ධීවර ප්‍රජාවන්ට දැඩි පහරක් එල්ල විය. ඉන් බහුතරයක් සිය ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාව සඳහා සම්පූර්ණයෙන්ම ජලාශ ආශ්‍රිත ධීවර කර්මාන්තය මත යැපෙයි. ජපන් රජය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය මත්ස්‍ය සම්පත යළි ගොඩනැගීමට සහ ආදායම් මාර්ග ප්‍රතිෂ්ඨාපනය කිරීමට උපකාරී වනු ඇත. එසේම, අවදානමට ලක්වූ ධීවර පවුල් තුළ අනාගතයේදී ඇති විය හැකි දේශගුණික ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට ද මෙමඟින් අවස්ථාව සැලසේ" යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

"අද දින ආරම්භ කරන ලද මෙම නව ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සුළි කුණාටුව හේතුවෙන් අහිමි වූ මිරිදිය ධීවර සම්පත් යළි ගොඩනැගීමයි. එසේම, අනාගතයේදී ඇති විය හැකි දේශගුණික ආපදාවලට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ධීවර ප්‍රජාවක් ගොඩනැගීම වෙනුවෙන් සිදු කරන උපායමාර්ගික ආයෝජනයක් ලෙස ද මෙය හැඳින්විය හැකියි" යනුවෙන් ජපන් තානාපති ගරු අකියෝ ඉසොමාටා තානාපතිවරයා ප්‍රකාශ කළේය. "මෙම ව්‍යාපෘතිය යටතේ හඳුන්වා දී ඇති පාවෙන අභිජනන කූඩු ස්ථාපිත කිරීම සහ බාධක දැල් සවි කිරීම වැනි ප්‍රගාමී පියවර අනාගත කාලගුණික ආපදාවලින් සිදු විය හැකි හානිය අවම කිරීම සඳහා ඉතා වැදගත් වේ. එමඟින් ධීවර සම්පත් ආරක්ෂා කිරීම සඳහා වන නව්‍ය හා අත්‍යවශ්‍ය තාක්ෂණික ප්‍රවේශයන් සහතික කෙරේ. එසේම, අධික ඉන්ධන පරිභෝජනය හේතුවෙන් සාගර ධීවර කර්මාන්තයේ මෙහෙයුම් පිරිවැය ඉහළ ගොස් ඇති මෙවන් සමයක, මිරිදිය ධීවර නිෂ්පාදනය පවත්වා ගැනීම සහ වැඩිදියුණු කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ආහාර සුරක්ෂිතතාව සඳහා උපායමාර්ගික වශයෙන් අතිශයින් වැදගත් වේ. මන්ද යත්, ඒ සඳහා වැය වන්නේ සැලකිය යුතු ලෙස අඩු ඉන්ධන ප්‍රමාණයක් වන අතර වැදගත් දේශීය ප්‍රෝටීන් ප්‍රභවයක් ද එමගින් සුරක්ෂිත වන බැවිනි. ශ්‍රී ලංකාවේ තිරසර සහ ඔරොත්තු දෙන සංවර්ධන ගමනට සහාය වීම සඳහා ජපන් රජය සහ ජනතාව එහි නො සැලෙන මිතුරෙකු සහ හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවාසීන් සමඟ අඛණ්ඩව රැඳී සිටිනු ඇත" යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය මඟින් මිරිදිය ධීවර නිෂ්පාදන ධාරිතාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවධානය යොමු කරන බව විම්ලේන්ද්‍ර ශරන් මහතා අවධාරණය කළේය. ඒ සමඟම වඩාත් ඔරොත්තු දෙන ධීවර පද්ධති සඳහා පදනම දමන බව ද ඔහු පෙන්වා දුන්නේය. "තිරසර සහ දේශගුණයට ඔරොත්තු දෙන මිරිදිය ධීවර පද්ධති යළි ගොඩනැගීමට ප්‍රජාවන්ට උපකාර කිරීම හරහා මෙම ව්‍යාපෘතිය ක්ෂණික ප්‍රතිසාධන සහායට වැඩි දෙයක් සිදු කරයි. ජලාශවලට මත්ස්‍යයන් නැවත හඳුන්වා දීම, මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සහ ආරක්ෂිත යටිතල පහසුකම් සැපයීම ඒ යටතේ සිදු වේ. එසේම, ප්‍රජා ශක්‍යතා වර්ධනය හරහා බලපෑමට ලක්වූ ධීවරයන්ගේ ජීවනෝපාය යළි ගොඩනැගීමට, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට සහ අනාගත දේශගුණික ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහාය දක්වයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සමඟ සමීපව කටයුතු කරමින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. ඊට අමතරව, ප්‍රාදේශීය මිරිදිය වගා පාදක ධීවර කර්මාන්තය මත පදනම් වූ ධීවර සංවිධාන ද මේ සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. මෙමඟින් දිගුකාලීන තිරසර බව සහ ප්‍රජා අයිතිය තහවුරු කිරීම අපේක්ෂා කෙරේ. ඒ සඳහා මත්ස්‍ය පැටවුන් බෝ කිරීම, කූඩු කළමනාකරණය, බාධක දැල් නඩත්තු කිරීම සහ තිරසර ධීවර පාලනය පිළිබඳ තාක්ෂණික පුහුණුව ලබා දීම ආදිය මෙම ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වලට ඇතුළත් වේ.
