ආපදා අපද්‍රව්‍ය කලමනාකරණය සහ ප්‍රජා පුනරුත්ථාපන වැඩසටහන හරහා ජන ජීවිත යථාතත්ත්වයට පත්වීම වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය හවුල් වේ
2026/6/10

අපද්‍රව්‍ය ඉවත් කිරීම, අත්‍යවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රත්‍යස්ථ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හරහා නව ව්‍යාපෘතිය මගින් දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දහස් සංඛ්‍යාත ජනතාවට සහයෝගය ලබාදේ
කොළඹ, ශ්‍රී ලංකාව, ජුනි 10, 2026: ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ශ්‍රී ලංකා රජය සමඟ ඒකාබද්ධව දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව කඩිනමින් ප්‍රතිසාධනය කිරීම් සඳහා වූ මෙම නව ව්‍යාපෘතිය සඳහා අද දින අත්සන් තැබිණි.
මෙම වැඩසටහන “දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්හි සහභාගීත්ව ප්‍රවේශයක් හරහා ආපදා අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ ප්‍රජා පහසුකම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය” ලෙස නම් කර ඇති අතර, එහි අරමුණ වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශය යළි ස්ථාපිත කිරීම, හදිසි පාරිසරික අවදානම් වලට විසඳුම් ලබා දීම සහ වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රදේශවල ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමයි.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකිඔ ඉසොමත මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික නියෝජිතවරිය අසුසා කුබෝටා මහත්මිය අත්සන් තැබූ අතර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, එස්. ආලෝකබණ්ඩාර මහතා, සහ රජයේ ආයතන සහ හවුල්කාර සංවිධානයන්හි නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගි විය.
2025 නොවැම්බර් මස අගභාගයේදී පැමිණි දිට්වා සුලි කුණාටුවේ විනාශකාරී බලපෑමට මිලියන 1.7 ක පමණ ප්‍රජාවක් ගොදුරු වී ඇතිබව ඇස්තමේන්තු කර ඇති අතර මෙම ව්‍යාපෘතිය වැඩිම හානියට පත් ප්‍රදේශයක් වූ මධ්‍යම පළාතේ මානුෂීය සහන අවශ්‍යතා සපුරාලීම සඳහා ගනු ලබන අතිශය වැදගත් පියවරක් ලෙස සැලකේ.

මෙම වැඩසටහන ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින්, පරිසර හිතකාමී විදුලි ත්‍රිරෝද රථ භාවිතා කරමින් ආපදා සම්බන්ධ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය සහ සැහැල්ලු අපද්‍රව්‍ය එකතු කිරීම හා කළමනාකරණය සඳහා සහාය ලබා දෙනු ඇත. එසේම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ළමා සුරැකුම් සේවා සහ සමාජ සහාය වැනි අත්‍යවශ්‍ය සේවා සපයන බහුකාර්ය ප්‍රජා පහසුකම් පුනරුත්ථාපනය කිරීම සඳහා ද සහාය ලබා දෙනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා ආසන්න වශයෙන් 228,500 ක ප්‍රජාවකට සෘජු ප්‍රතිලාභ ලැබෙන අතර තවත් 700,000 ක පමණ ප්‍රජාවකට වක්‍ර ලෙසද වැඩිදියුණු කළ සේවාවන් සහ ශක්තිමත් වූ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතීන් තුළින් ප්‍රතිලාභ ලබයි.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිඔ ඉසොමත මහතා, “ඵලදායී ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණය සඳහා සමාජයේ සියලුම අංශ සම්බන්ධ කර ගනිමින් සමස්ත ජාතික ප්‍රවේශයක් අවශ්‍ය වේ. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සැමගේ සහභාගිත්වයෙන් සහ තිරසාර ප්‍රවේශයක් තුළින්, ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමයි. ප්‍රාදේශීය ප්‍රජාවන් මෙම ව්‍යාපෘතියට සහභාගි වීම සහ එය ක්‍රියාත්මක කිරීමට දිරිගැන්වීම තුළින් ඔවුන්ව සවිබල ගැන්වීමට සහ සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම සහ ආපදා හමුවේ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමට හැකිවේ. ‘වඩා හොඳින් යළි ගොඩනැගීම’ යන සංකල්පය මාර්ගෝපදේශය ලෙස ගනිමින්, ජපානය තවදුරටත් ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරමින් පෙර සූදානම, ප්‍රතිචාර දැක්විමට සහ ප්‍රතිසාධනය යන අංශයන් ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බවත් අනාගතේදී ඇතිවිය හැකි ආපදාවන් වලට ප්‍රශස්ථ ලෙස ඔරොත්තු දීම සඳහා එය උපකාරී වනු ඇති බවත්, ජපාන රජය සහ එහි පුරවැසියන් ශ්‍රී ලාංකිකයන් සමඟ එක්ව ස්ථීරසාර මිතුරෙකු සහ හවුල්කරුවෙකු වශයෙන් රටේ තිරසාර සංවර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව සහිත සමාජයක් බිහි කිරීම කෙරෙහි නොමඳ සහාය ලබාදීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කරන ලදී.
ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසාධන උත්සාහය පිළිබඳව අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, එස්. ආලෝකබණ්ඩාර මහතා මෙසේ අදහස් දැක්විය, “මෙම ව්‍යාපෘතිය දිට්වා සුළි කුණාටුවෙන් පසු අපගේ ජාතික ප්‍රතිසාධන වෑයමෙහි විශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන බවත් ප්‍රජාවගේ අත්‍යවශ්‍යය යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතීන් වැඩිදියුණු කිරීම මගින් බලපෑමට ලක්වූ ප්‍රජාවන් හට නැවත අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීමට සහ තම ජීවිත නැවත ගෞරවාන්විතව ගොඩනගා ගැනීමට උපකාරී වන බවත් ඔහු පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ සියලු දෙනා අන්තර්ගත වන ප්‍රතිසාධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව කටයුතු කරන මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකා රජය ඉතා අගය කරන බවයි.”
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් එහි නේවාසික නියෝජිතවරිය අසූසා කුබෝටා මහත්මිය අදහස් දක්වමින්, “ප්‍රතිසාධනය යනු හුදෙක් නැති වී ගිය දෙයක් යළි ගොඩනැංවීම නොවේ. ඒ වෙනුවට ඉදිරිය හොඳින් තැනීමයි. මෙම මුල පිරීම මගින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනාගත කම්පනයන් දරා ගැනීමට අවශ්‍ය ශක්තිය සහ අත්‍යවශ්‍ය සේවාවන් ප්‍රජාව වෙත ලබාදීම සඳහා කටයුතු කරයි. ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය සමඟ අපගේ හවුල්කාරීත්වය, කිසිවෙකු අත්හැර නොයන, සියලු දෙනාම ඇතුළත් කරගන්නා සහ තිරසාර ප්‍රතිසාධනයක් සඳහා ඇති පොදු කැපවීම පිළිබිඹු කරයි.

දැඩි ලෙස යටිතල පහසුකම් හානිවීම්, පොදු සේවාවන්ට සිදුවූ බාධා වීම් සහ ආපදා අපද්‍රව්‍ය විශාල වශයෙන් එකතු වීම සිදුවූ මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත් මධ්‍යම පළාත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රදේශ ලෙස හදුනාගෙන ඇත.
ප්‍රතිසාධන අවශ්‍යතා සපුරාලීමට අමතරව, මෙම වැඩසටහන ප්‍රජා මූලික අපද්‍රව්‍ය එකතු කිරීම සහ පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම හරහා ජීවනෝපාය සංවර්ධන අවස්ථා ද අන්තර්ගත කරනු ඇත. එහිදී කාන්තාවන් සහ අවදානම් තත්ත්වයේ පසුවන ප්‍රජා කණ්ඩායම් සක්‍රීයව සම්බන්ධ කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීම සහ ජාතික ප්‍රමුඛතා සමඟ අනුකූල වන තිරසාර හා සමානාත්මතා මත පදනම් වූ ජාතික සංවර්ධන ක්‍රියාවලියට සහාය දීම සඳහා ගෙන යන පුළුල් ප්‍රයත්නයන්ට ද දායක වේ.
