උතුරු අනුරාධපුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා මුල්ගල් තැබීමේ උත්සවය
2026/7/10

2026 ජූලි මස 10 වන දින, ශ්‍රී ලංකාවේ වැඩබලන ජපන් තානාපති ගරු කමොෂිද නඔඅකි මැතිතුමා, උතුරු අනුරාධපුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වූ අතර, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත කුරොනුමා කෙන්ජි යන මහත්වරුන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට යෙදිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් ලැබුණු සහනදායී ණයක් මගින් ආසන්න වශයෙන් ජපන් යෙන් (JPY) බිලියන 23 ක (වර්තමාන විනිමය අනුපාතයට අනුව ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 143 ට සමාන) අරමුදලක් සපයනු ලබන අතර, එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 67,000 කට පමණ ස්ථාවර ආරක්ෂිත පානීය ජල සැපයුමක් ලබාදීම අරමුණු කරයි. මෙම දෙවන අදියර සම්පූර්ණ කිරීමත් සමඟ, දැනටමත් නිම කර ඇති පළමු අදියර සමඟ ඒකාබද්ධව, සමස්ථ ව්‍යාපෘතිය මගින් නිවාස 75,000 කට අධික සංඛ්‍යාවකට ආරක්ෂිත ජල ප්‍රවේශය ලබා දෙනු ඇත. මෙම ව්‍යාපෘතිය කලාපයේ කෘෂිකාර්මික හා කාර්මික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය පදනමක් සපයන අතරම ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටද දායක වනු ඇත.

මෙම වැදගත් ව්‍යාපෘතියේ මුල්ගල් තැබීම පිළිබඳව කමොෂිද මැතිතුමා සිය හෘදයාංගම සුබ පැතුම් පළ කළේය. කොවිඩ්-19 වසංගතය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසින් එල්ල කරන ලද පෙර නොවූ විරූ අභියෝග මධ්‍යයේ වුවද, මෙම සන්ධිස්ථානය සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ අතිගරු ජනාධිපති දිසානායක මැතිතුමා සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වූ සියලු දෙනාටම ඔහු සිය කෘතඥතාව පළ කළේය.
මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම සඳහා මෙම ව්‍යාපෘතිය සංකේතාත්මක වැදගත්කමක් දරණ බවත්, ජපානය රටේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ස්ථිර හවුල්කරුවෙකු ලෙස දිගටම කටයුතු කරන බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේය.
