නව වරාය සෞඛ්‍ය කාර්යාලය විවෘත කිරීමෙන් ශ්‍රී ලංකාවේ දේශසීමා සෞඛ්‍ය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වෙයි
2026/7/28

කොළඹ, 2026 ජූලි 28 – ශ්‍රී ලංකාවේ දේශසීමා සෞඛ්‍ය ආරක්ෂාව සහ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන් සඳහා සූූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස, ජපාන රජයේ සහයෝගයෙන්, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොළඹ වරායේ අලුතින් ඉදි කරන ලද වරාය සෞඛ්‍ය කාර්යාලය (Port Health Office) නිල වශයෙන් විවෘත කරන ලදී.
කොළඹ වරායේ සෞඛ්‍ය පරීක්ෂණ, රෝග නිරීක්ෂණ සහ හදිසි අවස්ථාවන්හීදී ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා මෙම නව ස්ථාපනය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙන ලදී. 2025 වසර තුළ පමණක් වරාය සෞඛ්‍ය සේවය විසින් නිදහස් ප්‍රවේශ අවසරපත් 4,190 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, නෞකා සනීපාරක්ෂක පරීක්ෂණ 365 ක් සිදු කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය. "අද දින නව වරාය සෞඛ්‍ය කාර්යාලය විවෘත කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂාව සහ ජාතික ශක්තිමත් භාවය ඉහළ නැංවීමේ සුවිශේෂී සන්ධිස්ථානයකි. සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත සහ අභියෝග හමුවේ නොසැලෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අපගේ පොදු කැපවීම මෙම ව්‍යාපෘතිය තුළින් පිළිබිඹු වන අතර, අනාගත මහජන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීම සඳහා අපගේ වරායන් සූදානම්ව තබා ගැනීමට ද මෙය වැදගත් දායකත්වයක් සපයයි."

කොළඹ වරාය හරහා ඇතිවිය හැකි මහජන සෞඛ්‍ය අවදානම් වැළැක්වීම, කඩිනමින් හඳුනා ගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය දේශසීමා සෞඛ්‍ය සේවාවන්, මෙම වරාය සෞඛ්‍ය කාර්යාලය මඟින් සපයනු ලැබේ. ජාත්‍යන්තර නෞකා පරීක්ෂා කිරීම, නිදහස් ප්‍රවේශ අවසරපත් (Free Pratique) සහ නෞකා සනීපාරක්ෂණ සහතික (Ship Sanitation Certificates) නිකුත් කිරීම, රෝග නිරීක්ෂණ හා වාහක පාලන (Vector Control) කටයුතු ක්‍රියාත්මක කිරීම මෙන්ම මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හිදී සම්බන්ධීකරණය සිදු කිරීම ද එහි ප්‍රධාන කාර්යයන් අතර වේ.
මෙම අවස්ථාවට එක්වෙමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා මෙසේ සඳහන් කළේය."ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛතම සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ වරායේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජය අඛණ්ඩව කැපවී සිටී. නව වරාය සෞඛ්‍ය කාර්යාලය මඟින් වර්ධනය වන ජාත්‍යන්තර නාවික ගමනාගමනය ආරක්ෂිතව සහ කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ හැකියාව වැඩිදියුණු වන අතර, ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමද ශක්තිමත් කරයි. ඒ තුළින් ශ්‍රී ලංකාව ගෝලීය සමුද්‍රීය වෙළඳාම සඳහා ආරක්ෂිත, විශ්වාසනීය සහ තරඟකාරී පිවිසුම් දොරටුවක් ලෙස තවදුරටත් තහවුරු වේ."

මෙම වරාය සෞඛ්‍ය කාර්යාලය, ජපාන රජයේ සහයෝගයෙන් සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය(IOM) විසින් ක්‍රියාත්මක කරන ලද “නිරිතදිග ආසියාවේ බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා වූ දේශසීමා පාලන ධාරිතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය” යටතේ ස්ථාපිත කර ඇත. ශ්‍රී ලංකාව තුළ, මෙම ව්‍යාපෘතිය කොළඹ වරාය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කර ගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය, නවීන තාක්ෂණික පහසුකම්, වෛද්‍ය උපකරණ සැපයීම සහ මානව සම්පත් ධාරිතා සංවර්ධනය සඳහා ආයෝජනය කරයි. එමඟින් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (International Health Regulations – IHR 2005) අනුව දේශසීමා සෞඛ්‍ය සේවාවන්හි අනුකූලතාව ඉහළ නංවා, අනාගත මහජන සෞඛ්‍ය තර්ජනවලට ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය ඔස්සේ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි සැකසීම සහ ඉදිරිපෙළ නිලධාරීන් සඳහා පුහුණුව ලබා දීම තුළින් දේශසීමා සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කරයිි. එමෙන්ම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදු කළ අනුපූරක ආයෝජන මඟින්, අනාගත මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන් සඳහා සූදානම්වීම තවදුරටත් ඉහළ නංවන අතරම, සුරක්ෂිත සහ කාර්යක්ෂම ජාත්‍යන්තර සංචරණයට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ ධාරිතාව ද තවදුරටත් වර්ධනය කරයි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකියෝ ඉසොමතා මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මැද පෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික ආතතීන් මධ්‍යයේ, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂිත සහ විශ්වාසනීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම වෙන කවරදාටත් වඩා ඉහළ ගොස් ඇත. සංචාරක කර්මාන්තයේ සහ වෙළඳාමේ වාර්තාගත වර්ධනයක් රට අත්විඳිමින් සිටින මෙම අවස්ථාවේදී, අනාගත බාධාවන් වළක්වා ගැනීම, මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සමෘද්ධියට සහාය වීම සඳහා අර්බුදවලට ඔරොත්තු දිය හැකි ශක්තිමත් දේශසීමා සෞඛ්‍ය යටිතල පහසුකම් අද දිනම ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ." ප්‍රවේශ ස්ථානවල මෙහෙයුම් කාර්යක්ෂමතාව, සෞඛ්‍ය ආරක්ෂාව සහ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මගින් මෙම ව්‍යාපෘතිය වඩාත් ශක්තිමත් දේශසීමා, වඩාත් ආරක්ෂිත සංචරණය සහ බෝවන රෝග තර්ජනවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට දායක වන අතර, රටේ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා ද සහාය වේ.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයෙහි (IOM) මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය මෙම අවස්ථාවට එක් වෙමින් මෙසේ පැවසුවාය. “අලුතින් ස්ථාපිත කරන ලද මෙම වරාය සෞඛ්‍ය කාර්යාලය මහජන සෞඛ්‍ය තර්ජන හඳුනා ගැනීමට, ඒ සඳහා සූදානම් වීමට සහ ප්‍රතිචාර දැක්වීමට රට සතු හැකියාව ශක්තිමත් කිරීමේ වැදගත් සංධිස්ථානයක් නියෝජනය කරයි. ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් ප්‍රවේශ ස්ථාන ශක්තිමත් කිරීම හා ඒවායේ තිරසාර ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම සඳහා රජය ගෙන යන ප්‍රයත්නයන් වලට සහාය දීමට සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) අඛණ්ඩව කැපවී සිටී. මෙය මහජන සෞඛ්‍ය ආරක්ෂා කරමින්, ආරක්ෂිත, විධිමත් සහ නීත්‍යානුකූල සංක්‍රමණයට පහසුකම් සැලසීමට ද දායක වේ."
