“බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්යාපෘති සඳහා වන ආධාර ප්රදාන (GGP)” යෝජනා ක්රමය යටතේ, පරිසර හිතකාමී, විශාල ප්රමාණයේ පතුල පහත් (low-floor) බස් රථ පරිත්යාග කිරීමේ උත්සවය
2026/9/2

පරිසර හිතකාමී, විශාල ප්රමාණයේ සහ පහත් තට්ටුවක් සහිත (low-floor) බස් රථ අටක් (8) භාර දීමේ උත්සවය, ප්රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්ය ගරු බිමල් රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් සැප්තැම්බර් මස 2 වන දින පැවැත්වුණු අතර, ඒ සඳහා ශ්රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිඔ ඉසොමත මහතා සහභාගී විය.

ජපාන රජයේ “බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්යාපෘති සඳහා වන ආධාර ප්රදාන (GGP) වැඩසටහන යටතේ ක්රියාත්මක මෙම ව්යාපෘතිය, ඇමරිකානු ඩොලර් 362,476ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 112ක) මුළු ප්රදාන වටිනාකමකින් යුතුව ක්රියාත්මක කෙරේ. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ඉල්ලීමකට අනුව, විශාල ප්රමාණයේ පහත් තට්ටුවක් සහිත (low-floor) බස් රථ ලබා දීම සඳහා ජපානය දක්වන මෙම දායකත්වයේ අරමුණ වන්නේ, ප්රවාහන පහසුකම් ලබා ගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන පුද්ගලයින්ට ආරක්ෂිතව ගොඩවීමට සහ බැසීමට හැකි වන පරිදි කොළඹ පොදු බස් රථ සේවාව සඳහා ක්රියාකාරී පද්ධතියක් ස්ථාපිත කිරීමයි. එමගින් වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු නගරවාසීන්ගේ ස්වාධීන ගමනාගමන අවස්ථා පුළුල් කිරීමට දායකත්වයක් සැපයේ. මෙම බස් රථ 'යුරෝ 4' (Euro 4) විමෝචන ප්රමිතීන්ට අනුකූල වන පරිදි සම්පූර්ණයෙන්ම ප්රතිසංස්කරණය කරන ලද පාවිච්චි කරන ලද ඒවා වන අතර, ඒවායේ ඇති පරිසර හිතකාමී ලක්ෂණ ශ්රී ලංකාවේ "පිරිසිදු ශ්රී ලංකාවක්" (Clean Sri Lanka) යන වැඩසටහනට ද දායක වනු ඇත. මෙම බස් රථ යොකොහාමා නගරය විසින් පරිත්යාග කරන ලද්දකි.

තානාපති ඉසොමත මහතා සිය අදහස් දැක්වීමේදී මෙසේ පැවසීය, “මෙවර ලබා දුන් බස් රථ සංඛ්යාව ඉතා සුළුයි, නමුත් කල්පැවැත්ම, ප්රවේශ්යතාව, ආරක්ෂාව, සුවපහසුව සහ පාරිසරික තිරසාරභාවය පොදු ප්රවාහන පද්ධතියට ඒකාබද්ධ කළ හැකි ආකාරය නිරූපණය කිරීමෙන් මෙම ව්යාපෘතිය අනාගත පතුල පහත් බස් රථ යෙදවීම සහ ශ්රී ලංකාව පුරා මෙහෙයුම් සඳහා ආදර්ශමත් අවස්ථාවක් සපයනු ඇතැයි මම විශ්වාස කරමි.” ඔහු තවදුරටත් ප්රකාශ කළේ, “සියලු දෙනා ඇතුළත්, විශ්වාසදායක සහ තිරසාර නාගරික සංචලනය සඳහා ශ්රී ලංකාවේ උත්සාහයන්ට සහාය වීමට ජපානය කැපවී සිටින බවයි. මෙම බස් රථ සැපයිම මගින් පමණක් නොව, වඩාත් ප්රවේශ විය හැකි සහ පිරිසිදු අනාගතයක් සඳහා අපගේ පොදු අභිලාෂයන් ද ඉදිරියට රැගෙන යා යුතුය.” යන්න ඒ මහතාගේ අදහසයි.

ප්රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්ය ගරු බිමල් රත්නායක මහතා මෙසේ පැවසීය: "ශ්රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්රත්වයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක් අද සනිටුහන් වේ. අපගේ නගර වර්ධනය වීමත් සමඟ නාගරික ප්රවාහන පහසුකම් සැපයීමේ අභියෝගය වඩාත් හදිසි අවශ්යතාවක් බවට පත්ව තිබේ. දිනපතා දහස් ගණනක් මගීන් ප්රවාහන පද්ධතිය මත යැපෙයි. කාර්යක්ෂම, සුවපහසු සහ සැමට ප්රවේශ විය හැකි ප්රවාහන පද්ධතියක් සැපයීම තවදුරටත් සුඛෝපභෝගී පහසුකමක් නොව, මූලික මහජන අවශ්යතාවකි." ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය: "ජපාන රජයට සහ ජනතාවට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු. ඔවුන්ගේ මූලිකත්වය සහ කැපවීමෙන් යුත් පසු විපරම් ක්රියාවලිය හේතුවෙන් මෙම බස් රථ තොගය අපට ලබා ගැනීමට හැකි විය."
