සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය

2026/9/16

2026 සැප්තැම්බර් මස 16 වන දින, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිඔ ඉසොමත මැතිතුමා සහභාගී විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ජයිකා (JICA) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෂිගියෝ හොන්සු  මහතා ද සහභාගී වූහ.
 
ජපාන රජයේ යෙන් බිලියන 10.6ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 70කට සමාන) සහනදායී ණයක් මගින් මූල්‍යමය ආධාර සපයන “සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ” වැදගත් සන්ධිස්ථානයක් මෙම උත්සවය මගින් සනිටුහන් කෙරේ. තෘතියික මට්ටමේ රෝහල්වල වෛද්‍ය පහසුකම් හා උපකරණ වැඩිදියුණු කිරීම සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුහුණු මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම තුළින්, බෝ නොවන රෝග [Non-Communicable Diseases (NCDs)], විශේෂයෙන්ම හෘද රෝග - වැළැක්වීම, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම සඳහා වන වෛද්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ව්‍යාපෘතිය යටතේ ලබා දෙනු ලබන වෛද්‍ය උපකරණ නඩත්තු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම ද ඊට ඇතුළත් වේ.


මෙම ව්‍යාපෘතිය යටතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව පහසුකම් ඉදි කෙරෙනු ඇත. ජපාන සමාගම් විසින් නිෂ්පාදිත උපකරණ ඇතුළු උසස් වෛද්‍ය උපකරණ මෙම රෝහල් දෙකෙහි මෙන්ම මහනුවර, කුරුණෑගල සහ බදුල්ල යන ප්‍රදේශවල පිහිටි තවත් ප්‍රධාන තෘතියික සත්කාරක රෝහල් තුනක ස්ථාපිත කිරීමට නියමිත අතර, ඊට අමතරව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන් සඳහා වන පුහුණු උපකරණ ද ලබා දෙනු ඇත.


මෙහිදී සිය අදහස් දක්වමින් තානාපති ඉසොමත මැතිතුමා මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ජපානයට ශ්‍රී ලංකාව සමඟ පවතින්නේ දීර්ඝකාලීන සහයෝගීතා ඉතිහාසයකි. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම, ඊට අයත් ප්‍රධාන ව්‍යාපෘති කිහිපයකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත මෙවර අප ලබා දෙන සහාය ද මෙම දීර්ඝකාලීන හවුල්කාරිත්වයේම කොටසකි.”
 
ශ්‍රී ලංකාවේ සිදුවන සමස්ත මරණවලින් 80%කට අධික සංඛ්‍යාවකට බෝ නොවන රෝග හේතු වී ඇති බවත්, ඉන් හෘද රෝග පමණක් ආසන්න වශයෙන් 40% ක ප්‍රතිශතයක් සඳහා වගකිව යුතු බවත් පෙන්වා දෙමින් ඔහු මෙසේ පැවසීය: “මෙම නව පහසුකම් මගින් නැගෙනහිර පළාතේ රෝගීන්ට වඩාත් වේගවත් හා නිවැරදි රෝග විනිශ්චයක් සහ ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද, එමගින් අවසානයේදී බොහෝ ජීවිත බේරා ගැනීමට මෙම ව්‍යාපෘතිය දායක වනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙමි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දරන උත්සාහයන්ට සමගාමීව, වෛද්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ තිරසාර සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වීමට ජපානය සූදානමින් සිටී.”


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජපානය අනුගමනය කරන ආධාර ප්‍රතිපත්තිය පිළිබඳව සඳහන් කරමින් ඉසොමත තානාපති තුමා මෙසේ අවධාරණය කළේය: “පසුගිය දශක දෙකහමාරක කාලය පුරාම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා අඛණ්ඩව සහාය වීම ඇතුළුව, උතුරු සහ නැගෙනහිර පළාත්වල සමාජ-ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ආධාර ලබා දීම කෙරෙහි ජපානය සිය අවධානය යොමු කර තිබේ. ජාතික සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය එකිනෙක හා සමීපව බැඳී පවතින බව අපි විශ්වාස කරමු. එබැවින්, මෙම ව්‍යාපෘතිය නැගෙනහිර පළාතේ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් ජපානය දක්වන අඛණ්ඩ කැපවීම පිළිබඳ ප්‍රායෝගික සාක්ෂියකි.”


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා සිය දේශනයේදී මෙසේ ප්‍රකාශ කළේය: “ ජපානයේ ආධාර ඇතිව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සඳහා නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ ඊට අවශ්‍ය උපකරණ සවිකිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. මහල් 8කින් සමන්විත මෙම ගොඩනැගිල්ල අංගසම්පූර්ණ හෘද කැතීටකරණ රසායනාගාරයක් (Cath Lab), සී.ටී. (CT) සහ එක්ස්-කිරණ (X-ray) යනාදී පහසුකම්වලින් යුක්තවන අතර, 2028 වසරේ සිට රෝහල තුළදී එම සේවාවන් ලබාගත හැකි වනු ඇත. මෙම පහසුකම් වැඩිදියුණු කිරීමත් සමඟ ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන්ගේ රැඳී සිටීමේ කාලය අඩු වනු ඇත. මෙවැනි අගනා කටයුත්තක් සඳහා සහයෝගය දැක්වීම පිළිබඳව ජපාන රජයට සහ ජපාන ජනතාවට අප අද දිනයේදී අපගේ කෘතඥතාව සහ ස්තුතිය පළ කර සිටිමු,”
 
එම ව්‍යාපෘතිය යටතේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග හා හෘද ශල්‍ය වෛද්‍ය ඒකක සංකීර්ණ ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ද මෙදිනම පැවැත්විණි.