දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමේ ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පීඩාවට පත් වූවන්ට සංක්‍රාන්තික නිවාස ලබා දීම

2026/9/17

මහනුවර, ශ්‍රී ලංකාව, 2026 සැප්තැම්බර් 17 – සංක්‍රමණය සදහා වන  ජාත්‍යන්තර සංවිධානය (IOM), ජපාන රජයේ සහයෝගය ඇතිව, ශ්‍රී ලංකා රජය සමඟ හවුල්කාරිත්වයෙන් දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් සඳහා ඉදි කරන ලද සංක්‍රාන්තික වාසස්ථාන  135න් 63ක් භාරදීම අද දින මහනුවර, රන්ගල අලුත් වත්තේ දී පැවති උත්සවයකදී සිදුවිය.
 
පුද්ගලයන් 300,000කට ආසන්න පිරිසක් අවතැන් කර වූ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් බොහෝ පවුල් වලට තම නිවාස අහිමි වූ අතර අනෙකුත්  පවුල් වලට  අවදානම් කලාපවලින් ඉවත්ව යාමට විය. මෙයට ප්‍රතිචාර වශයෙන්, ජපාන රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් හරහා, මහනුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සංක්‍රාන්තික වාසස්ථාන 135ක් ඉදිකිරීමට සංක්‍රමණය සදහා වන  ජාත්‍යන්තර සංවිධානය පහසුකම් සැලසීය.


"සුළි කුණාටුවෙන් වඩාත් දරුණු ලෙස පීඩාවට පත් ප්‍රදේශ අතරින් මධ්‍යම පළාත ද වූ අතර, එමගින් ජනතාවගේ නිවාස හා ජීවනෝපායන් සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති විය. මෙම වාසස්ථාන,  පීඩාවට පත් පවුල්වලට තම ජීවිත යළි ගොඩනගා ගැනීම සඳහා සුරක්ෂිත  ඉඩක් සලසා දෙනු ඇත. " යැයි නුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහාතා මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේය.
 
රජයේ ප්‍රමුඛතා සහ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රමුඛතා සැලැස්මට අනුකූලව ඉදිකරන කරන ලද මෙම වාසස්ථාන, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැලසුම් කර නිමවා ඇති අතර, ප්‍රාදේශීය අවශ්‍යතාවලට අනුගත කර ඇත.
 
ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත් කිරීමේ හා ඔරොත්තු දීමේ ශක්‍යතා ගොඩනැගීමේ ප්‍රයත්නවලට ජපානය දක්වන දිගුකාලීන කැපවීම පිළිබිඹු කරමින්, ජපාන ජනතාවගේ හා රජයේ සහයෝගය හේතුවෙන් මෙම වැඩසටහන සාක්ෂාත් කර ගැනීමට හැකි විය.


 
එසේම මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකිඔ ඉසොමත මහතා ප්‍රකාශ කළේ,
 
"මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් කර ගැනීමට පාර්ශවකරුවන් කිහිප දෙනෙක්ම දායක විය. ඒ අතරින් ත්‍රිවිධ හමුදාව  ප්‍රාදේශීය ප්‍රජාව සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පාර්ශ්වකරුවන් අතර ඇති වූ සමීප සහයෝගීතාවය සුවිශේෂී විය. එමෙන්ම මෙය අනාගතයේ ඇති විය හැකි එල් නිනෝ සංසිද්ධියේ බලපෑම් ඇතුළු ස්වාභාවික ආපදා හේතුවෙන් සිදුවිය හැකි විශාල හානි අවම කිරීමටත්, එවැනි ආපදා තත්ත්වයන්ගෙන් පසු කඩිනමින් යථා තත්ත්වයට පත්වීමටත් ප්‍රජාව සතු හැකියාවන් ශක්තිමත් කිරීමට වැදගත් පදනමක් වනු ඇත.”
 
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,“කාලගුණ අනාවැකි පළ කිරීමේ හැකියාවන් සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුත්තලම ප්‍රදේශයේ ඩොප්ලර් රේඩාර් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා දැනට ලබාදෙන සහායට අමතරව, මාර්ග ප්‍රතිසංස්කරණය හා ශක්තිමත් කිරීම මෙන්ම ආපදා අවදානම් අවම කිරීම වැනි ක්ෂේත්‍ර සඳහා ද ජපානය ඉදිරියේදී තවදුරටත් සහාය ලබාදීමට අපේක්ෂා කරන අතර භෞතික වශයෙන් පමණක් නොව, ආපදා සූදානම වෙනුවෙන් අප අතර ගොඩනැගුණු සහයෝගීතාව ද තවදුරටත් ශක්තිමත් කරමින්, ‘වඩාත් යහපත් ලෙස නැවත ගොඩනැගීම’ සඳහා එක්ව අපගේ උත්සාහයන් ඉදිරියට ගෙන යමු.”


ව්‍යසනය ආරම්භ වූ දින සිට, ජාතික හා ප්‍රාදේශීය බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින්, ජීවිත ආරක්ෂා කිරීමේ සහාය හා මූලික යථාවත් කිරීමේ කටයුතුවලට සංක්‍රමණය සදහා වන  ජාත්‍යන්තර සංවිධානය හා ජපන් රජය දායක විය. මෙම ව්‍යාපෘතිය යටතේ ම සංක්‍රාන්තික වාසස්ථාන ඉදිකිරීමට අමතරව, අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ කට්ටල 3,000ක් සහ නිවාස අලුත්වැඩියා මෙවලම් කට්ටල 1,000ක් බෙදා දුන් අතර, එමගින් පුද්ගලයන් 20,000කට වඩා වැඩි පිරිසකට ප්‍රතිලාභ අත්කර දී ඇත.
 
"පසුගිය මාස කිහිපය තුළ, තම නිවාස පමණක් නොව, අනාගතය පිළිබඳ තිබූ විශ්වාසය ද අහිමි වූ පවුල් අපට හමු වී ඇත." යැයි සංක්‍රමණය සදහා වන  ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය පැවසුවාය. තවදුරටත් ඇය පවසා සිටියේ "අද, මෙම වාසස්ථාන වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරයි. මෙම පවුල් නැවත යථා තත්වයට පත්වීමේ දී, ඔවුන්ගේ ජීවනෝපායන් යළි ස්ථාපිත කිරීමේදී සහ අනාගතය සඳහා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේදී සංක්‍රමණය සදහා වන  ජාත්‍යන්තර සංවිධානය ඔවුන් සමඟ නිරන්තරයෙන් සිටිනු ඇත." යනුවෙනි.
 
මෙම  ප්‍රයත්න ඔස්සේ ඉදිරියට යමින්, ව්‍යසන අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම, අවදානම් සහිත ප්‍රජාවන්ට සහාය වීම සහ අනාගත ව්‍යසනවල බලපෑම් අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා හවුල්කරුවන් සමඟ  සංක්‍රමණය සදහා වන  ජාත්‍යන්තර සංවිධානය හා ජපාන රජය කටයුතු කරගෙන යනු ඇත.