2026 අයිචි-නගෝයා 5 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබපැතීමේ උත්සවයක්
2026/10/5

ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වීමට නියමිත 2026, 5 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුබ පැතීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ උත්සවයක් ඔක්තෝබර් මස 3 වන දින ජපාන තානාපති කාර්යාලයේදී පැවැත්වීමට යෙදුණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකිඔ ඉසොමත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඒ. එච්. එම්. යූ. අරුණ බණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති මෙන්ම, එම කණ්ඩායමේ ප්‍රධානී (Chef de Mission) බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ඩී. කේ. අලුදෙණිය යන මහත්වරුන් ද සහභාගී විය.

2026 අයිචි-නාගෝයා 5 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල, "Imagine One Heart" යන තේමාව යටතේ ඔක්තෝබර් 18 සිට 24 දක්වා පැවැත්වීමට නියමිතය. මෙම කාලසීමාව තුළ ක්‍රීඩා ඉසව් 18ක් පැවැත්වෙන අතර, ආසියානු කලාපය පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම් නිලධාරීන් 4,000ක් පමණ ඊට සහභාගී වනු ඇත. මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය නගෝයා නගරය සහ අයිචි ප්‍රාන්තයේ අනෙකුත් නගරයන් වන අතර, එම ප්‍රදේශ පොහොසත් ඉතිහාසයකට හා සංස්කෘතියකට මෙන්ම කාර්මික නවෝත්පාදනයන්ට ද ප්‍රසිද්ධියක් උසුලයි.

තානාපති ඉසොමත මහතා සිය අදහස් දැක්වීමේදී මෙසේ පැවසීය: "පසුගිය මාසයේ පැවති 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග මහතාව ආදර්ශයට ගනිමින්, හැකි උපරිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට ඔබ සමත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. කෙසේ වෙතත්, පදක්කම් සහ ජයග්‍රාහක පීඨිකාවන්වලට ඔබ්බෙන් වූ වැදගත් දේ ද තිබේ. සාධාරණ ලෙස ක්‍රීඩා කිරීම සහ ඔබේ උපරිම හැකියාවෙන් විශිෂ්ටත්වය කරා ලුහුබැඳීම සිදුකරන්න. ඔබ ශ්‍රී ලංකාවට ඉමහත් ආඩම්බරයක් ගෙන දෙනු ඇති බවටත්, ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ මීළඟ පරම්පරාවට උත්තේජනයක් ලබා දෙනු ඇති බවටත් මට විශ්වාසයි. ජපානයේ සහ අයිචි-නගෝයා හි ජනතාව උනන්දුවෙන් හා උද්‍යෝගයෙන් යුතුව ඔබව දිරිගැන්වීමට බලාපොරොත්තුවෙන් සිටිති. ඔබට ආරක්ෂිත ගමනක්, යහපත් සෞඛ්‍යයක් සහ ඉහළම සාර්ථකත්වයක් ප්‍රාර්ථනා කරමි!"



ජපාන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන අතර, ක්‍රීඩා උළෙල තුළ ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ දැක බලා ගැනීමට අපේක්ෂා කරයි.
