මන්නාරමේ කාන්තාවන්ගේ ජීවනෝපායන්ට සහාය වීම සඳහා, ජපානය විසින් දේශීය නිෂ්පාදන මධ්‍යස්ථානයක් සදහා ආධාර ප්‍රදාන ලබාදෙයි

2026/10/29

2026 ඔක්තෝබර් 29 වන දින, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිඔ ඉසොමත මැතිතුමා, බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන (GGP)” (Grant Assistance for Grassroots Projects - GGP) යෝජනා ක්‍රමය යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ දේශීය නිපැයුම් නිෂ්පාදනය සහ අලෙවිය සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීම වෙනුවෙන් වූ ප්‍රදාන ගිවිසුමකට අත්සන් තැබීය. GGP යනු "මානව ආරක්ෂාව" (human security) යන සංකල්පය මත පදනම් වූ මූල්‍ය ආධාර ක්‍රමවේදයකි. ජපානය තම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියේ වැදගත් කුළුණක් ලෙස සලකන මෙම සංකල්පය, පුද්ගලයින්ට - විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට - ගෞරවාන්විතව, බියෙන් හා අවශ්‍යතාවලින් තොරව ජීවත් වීමට හැකි වන පරිදි ඔවුන්ව ආරක්ෂා කිරීම සහ සවිබල ගැන්වීම අරමුණු කරයි. මෙම ගිවිසුම 'සිවනරුල් හෝප්' (Sivanarul Hope) සංවිධානයේ ලේකම් ශාර්ඩ්කුන්නියමූර්ති කමලමූර්ති මහතා සමඟ අත්සන් කරන ලදී.


උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ දේශීය නිෂ්පාදන සැකසීම සහ අලෙවි කිරීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ජපාන රජය විසින් ඇමරිකානු ඩොලර් 97,371ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 32ක) මුදලක් ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහන හරහා, දැනට මූලික කර්මාන්ත ආශ්‍රිත ස්ථාවර නොවන ආදායම් මාර්ග මත යැපෙන එම ප්‍රදේශයේ කාන්තාවන්ට, දේශීය තල් ගස්වලින් ලබා ගන්නා අමුද්‍රව්‍ය භාවිතයෙන් හස්ත කර්මාන්ත නිර්මාණය කිරීමේ කුසලතා ලබා ගැනීමට හැකි වනු ඇත. එමගින් ඔවුන්ට වඩාත් ස්ථාවර ආදායම් අවස්ථා වෙත ප්‍රවේශ වීමටත්, ඔවුන්ගේ මූල්‍ය ස්වාධීනත්වය ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත.
 
අද දින අත්සන් තැබූ ව්‍යාපෘතිය ද ඇතුළුව, උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා ජපානය ලබා දෙන සහාය පිළිබඳව අදහස් දක්වමින් තානාපති ඉසොමත මැතිතුමා මෙසේ පැවසීය: "ජපානය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සංවර්ධන ආධාර වැඩසටහන් තුළ, උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා සහාය ලබා දීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇත. ජාතික සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය එකිනෙක සමීපව බැඳී පවතින බවට වන දැක්ම මත පදනම්ව, යටිතල පහසුකම්, මූලික මානව අවශ්‍යතා, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, කාන්තා සවිබල ගැන්වීම මෙන්ම බිම් බෝම්බ ඉවත් කිරීම වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ, විවිධ සහයෝගීතා වැඩසටහන් හරහා ජපානය මෙම පළාත් වෙත අඛණ්ඩව සහාය ලබා දී තිබේ. බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා පමණක්, අද වන විට ජපානය ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50 ඉක්මවයි."


මෙම ප්‍රදාන ආධාර ලැබීම පිළිබඳව අදහස් දක්වමින් සිවනරුල් හෝප් හි ලේකම් ශාර්ඩ්කුන්නියමූර්ති මහතා මෙසේ පැවසීය, “බිම් මට්ටමේ ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන වෙනුවෙන් ජපන් රජයට සහ ජනතාවට සිවනරුල් හෝප් උණුසුම් ලෙස ස්තූතිවන්ත වේ. මෙම ප්‍රදානය මන්නාරමේ දේශීය නිපැයුම් නිෂ්පාදන සහ අලෙවි මධ්‍යස්ථානයක් පිහිටුවීමට, පාම්ස් ටුගෙදර් වැඩසටහන ශක්තිමත් කිරීමට සහ උතුරු හා නැගෙනහිර කාන්තා ශිල්පීන් සමඟ එහි කටයුතු කිරීම සඳහා සහාය වනු ඇත. මෙම ව්‍යාපෘතිය කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව ජපන් තානාපති කාර්යාලයට අපි බෙහෙවින් කෘතඥ වෙමු.”
 
1989 වසරේ සිට, GGP (“බිම් මට්ටමේ මානව ආරක්ෂක ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන) වැඩසටහන හරහා ජපානය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 65ක මුළු ආධාර ප්‍රමාණයක් ලබා දී ඇත.