ජපානය ශ්‍රී ලංකාව පුරා රෝහල් 15 කට ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණයට අවශ්‍ය වන උපකරණ ලබා දෙයි

2025/9/8
  

2025 සැප්තැම්බර් මස 5 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු අකිඔ ඉසොමත, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සහ JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුම යන මහත්වරුන් සමඟ ත්‍රිකුණාමලය මහ රෝහලේ පැවති ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණ උපකරණ භාරදීමේ උත්සවයට සහභාගී විය.
 
මෙම උපකරණ “ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය”  යටතේ ලබා දී ඇති අතර, ඒ සඳහා ජපන් රජය විසින් ජපන් යෙන් මිලියන 503 ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.7) ආධාර ප්‍රදානයක් සමඟ 2023 අප්‍රේල් මාසයේදී හුවමාරු සටහන් පත්‍ර වලට අත්සන් කරන ලදී.
 
මෙම ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකාවේ පළාත් 09 පුරා රෝහල් 15 කට උෂ්ණත්ව පාලන සහ පිටාර වායු පිරිපහදු පද්ධති සහිත වෛද්‍ය අපද්‍රව්‍ය දහන යන්ත්‍ර සපයනු ලැබේ. නිසි අපද්‍රව්‍ය කළමනාකරණය සහ උපකරණ ක්‍රියාකාරිත්වය පිළිබඳ තාක්ෂණික පුහුණුව සමඟින්, මෙම ව්‍යාපෘතිය රට පුරා ආසාදන වැළැක්වීම සහ පාලන ධාරිතාව ශක්තිමත් කිරීම අරමුණු කරයි.
 
   

තානාපති ඉසොමත මහතා සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළේ මෙම ව්‍යාපෘතිය මගින් ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා උසස් පහසුකම් සපයනවා පමණක් නොව, කයිසන් (Kaizen), එස් 5 (5S) සහ පූර්ණ තත්ත්ව කළමණාකරණ [Total Quality Management (TQM)] ක්‍රම පුහුණු කිරීම තුළින් සෞඛ්‍ය සේවකයින්ගේ ධාරිතාව ශක්තිමත් කරන බවයි. නවීන චර්යා විද්‍යාවන් මත පදනම් වූ නැඹුරුවීමේ න්‍යාය (nudge theory) න්‍යාය උපයෝගී කරගනිමින්, එහි ධාරිතා සංවර්ධන සංරචකය වන පුහුණුකරුවන් පුහුණු කිරීමේ [Total Quality Management (TQM)] ප්‍රවේශය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව ද ඔහු අවධාරණය කළේය. මෙම ToT ප්‍රවේශය භාවිතා කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් රෝහල් ආසාදන පාලන නිලධාරීන්ට සහ පුළුල් වෛද්‍ය සේවා කණ්ඩායම්වලට දැනුම ලබාදුන් අතර එමඟින් පුළුල් පදනමක් මත ආරක්ෂිත වෛද්‍ය පරිසරයක් ඵලදායී ලෙස නිර්මාණය විය. නැගෙනහිර පළාතේ සහ යාබද ප්‍රදේශවල වෛද්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කරන අඛණ්ඩ යෙන් ණය ව්‍යාපෘතියක් හරහා ත්‍රිකුණාමලය මහ රෝහලේ කැතීටරීකරණ රසායනාගාරයක් වසර දෙකකින් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත්, එහිදී සමාජ-ආර්ථික සංවර්ධනය සහ ජාතික සංහිඳියාව සමීපව අන්තර් සම්බන්ධිත උතුරු සහ නැගෙනහිර පළාත්වලට අඛණ්ඩව සහාය ලබා දීමට ජපානයේ කැපවීම තානාපතිවරයා නැවත තහවුරු කළේය. අනාගතයේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව තිරසාර වීමට නම්, රජයෙන් රජයට සහයෝගීතාව පමණක් නොව, වෛද්‍ය සහ ඒ ආශ්‍රිත කාර්මික ක්ෂේත්‍ර ඇතුළුව පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බවට හෙතෙම අදහස් දැක්වීය.
 
තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා සහ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තීවෘ කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට ජපානය කැපවී සිටී.