ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණයේ [Joint Crediting Mechanism (JCM)] පළමු ඒකාබද්ධ කමිටු රැස්වීම

2023/10/13

 
2023 ඔක්තෝබර් 13 වන දින ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණයේ  [Joint Crediting Mechanism (JCM)] ඒකාබද්ධ කමිටුවේ පළමු රැස්වීම පවත්වන්නට යෙදුණි. 2022 ඔක්තෝබර් 10 වන දින ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණය සම්බන්ධ සහයෝගීතා සංදේශය අත්සන් කිරීමෙන් පසුව, විශේෂිත නීති සකස් කරමින් තත් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම රැස්වීම තුළින් අඩිතාලමක් වැටී ඇත.


ඒකාබද්ධ කමිටුව අතරතුර, එම කමිටුව සඳහා වූ ක්‍රියා පටිපාටි රීති සම්මත කරන ලද අතර, පසුව ජපාන පාර්ශවයෙන් ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කොතරො කත්සුකි සහ ශ්‍රී ලංකා පාර්ශවයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් සම සභාපතිවරු වශයෙන් තේරී පත්විය. ඒකාබද්ධ කමිටුව විසින් පැරිස් ගිවිසුමේ 6 වැනි වගන්තියට අනුකූලව ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ මාර්ගෝපදේශ ද සම්මත කරගන්නා ලදී. තවද, සැලසුම්ගත ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණ ව්‍යාපෘතියක් සඳහා වන ව්‍යාපෘති අදහස් සටහන [Project Idea Note (PIN)] සමාලෝචනය සිදු කරන ලද අතර, එය ශ්‍රී ලංකාවේ පළමු ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණ ව්‍යාපෘතිය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


ශ්‍රී ලංකාව තුළ ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපාන තානාපති කාර්යාලය මගින් සම්මන්ත්‍රණ පවත්වා ඇත. පරිසර සහ බලශක්ති ක්ෂේත්‍රවල සහයෝගීතාවය තුළින් ජපානය ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනයට අඛණ්ඩව දායක වේ.